මොඩර්නා එන්නත් මාත්‍රා 02කම කාන්තාවකට එකවර ලබාදුන් හේතුව හෙළිවෙයි

0
Moderna Vaccine Two Doses - මොඩර්නා එන්නත් මාත්‍රා 02කම කාන්තාවකට එකවර ලබාදුන් හේතුව හෙළිවෙයි
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට එකම මධ්‍යස්ථානයකදී මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනකදී ලබාදීම සිදුව ඇත්තේ අතපසුවීමක් සහ නොසැලකිල්ල හේතුවෙන් බව අනාවරණ වී තිබෙනවා. එම එන්නත ලබාදී තිබුණේ උඩ පේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදීයි.

මෙම ස්ථානයේදී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අදාළ කාන්තාව එන්නත ලබා ගැනීමෙන් පසු නිරීක්ෂණ කාලයේ රැඳී සිට ඇත්තේ ද එන්නත ලබා දෙන ස්ථානයකම බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අනුව එන්නත්කරණ සෞඛ්‍ය නිලධාරීන් ඇයට ද දෙවන වරටත් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවම ලබාදී තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතරතුර මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. එන්නත් මාත්‍රා 02 ම ලබාගත් අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 ම එක් දිනකදී ලබාගත්ත ද ඉන් කිසිඳු සෞඛ්‍ය ප්‍රතිලාභයක් හෝ විශේෂ ආරක්ෂාවක් හිමි නොවන බවයි. එමෙන්ම එන්නත් මාත්‍රා 02 ක් ලබා ගැනීම හේතුවෙන් අතුරු ආබාධ ඇතිවීමක් සිදු නොවන බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවා.