2025 වසර සඳහා වන තාක්ෂණික ප්‍රවණතා ගැන BBC News අනාවැකි මෙන්න

0
තාක්ෂණික ප්‍රවණතා

2024 වසරේදී බිට්කොයින් වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවා ගිය අතර කෘත්‍රිම බුද්ධිය (AI) එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලම් බවට පත් විය. එසේ නම්, මෙම නව වසරේදී අපට අපේක්ෂා කළ හැක්කේ කුමක් ද?

මේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තාක්ෂණය පිළිබඳ බීබීසී සංස්කාරක බෙන් මොරිස් සහ බීබීසී තාක්ෂණික සංස්කාරක සෝ ක්ලයින්මන්, 2025 වසර සඳහා වන තාක්ෂණික ප්‍රවණතා ගැන කළ විමසුමකි.

බෙන් මොරිස්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තාක්ෂණය පිළිබඳ බීබීසී සංස්කාරක

2022 අවසානයේදී, ක්‍රිප්ටොකරන්සි ව්‍යාපාරය දරුණු අවපාතයකට මුහුණ දුන්නේ ය. එහි වඩාත් ප්‍රසිද්ධ සමාගම්වලින් එකක් වූ FTX කඩා වැටුණු අතර, එහි තිබූ පාරිභෝගික අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8කට සිදුවූයේ කුමක් දැයි අපැහැදිලි ය.

සමාගමේ සම නිර්මාතෘ, සැම් බෑන්ක්මන්-ෆ්රයිඩ්ට, ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයින්ට වංචා කිරීම සම්බන්ධයෙන් 2024 මාර්තු මාසයේදී වසර 25ක සිර දඬුවමක් නියම කෙරිණි. එම සිදුවීම සමස්ත ක්ෂේත්‍රය කෙරෙහි වූ විශ්වාසය බිඳ දැමීය.

සාපේක්ෂව භාවිත කරන්නන් සීමිත සංඛ්‍යාවක් සහිත, ක්‍රිප්ටොකරන්සි සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස පවතිනු ඇති බව පෙනෙන්නට තිබිණි.

එහෙත්, ඉන් මාස කිහිපයකට පසු, ක්‍රිප්ටෝ කර්මාන්තය නැවතත් ශුභවාදී වූ අතර, නොවැම්බර් 5 වන දා ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම මෙයට හේතුව විය.

වෝල් ස්ට්‍රීට්හි ඉහළ ම සභාපති තනතුර සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) හිටපු කොමසාරිස් පෝල් ඇට්කින්ස් නම් කරන බව ට්‍රම්ප් විසින් දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේ ය.

ඉවත්ව යන ප්‍රධානියා වන ගැරී ජෙන්ස්ලර්ට වඩා, ඇට්කින්ස් ක්‍රිප්ටෝකරන්සි කෙරෙහි වැඩි සහයක් දක්වන අයෙකු ලෙස සැලකේ.

එම නිවේදනය, විශාලතම ක්‍රිප්ටෝකරන්සි ඒකකය වන බිට්කොයින්හි වටිනාකම, ඇමෙරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවා යාමට හේතු විය.

“ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග, 2025 දී යහපත් ආකාරයේ නියාමනයක් අපේක්ෂා කළ හැක. සමහර ඍණ බලපෑම් ඇති කරන රෙගුලාසි ඉවත් කරනු ඇති අතර, බැංකු සහ වෙනත් ආයතනවලට ද ක්‍රිප්ටෝ අවකාශයට ඇතුළු වීමට ඉඩ සැලසෙනු ඇත,” යනුවෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්හි ඩිජිටල් වත්කම් පර්යේෂණ ගෝලීය ප්‍රධානී ජෙෆ්රි කෙන්ඩ්රික් පවසයි.

විශේෂයෙන් ම කෙන්ඩ්රික් විසින්, SAB 121 නමින් SEC වෙතින් නිකුත් කර ඇති උපදෙස් මාලාවක් පෙන්වා දෙයි. 2022 වසරේදී හඳුන්වා දී ඇති එය මගින් බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම්වලට ක්‍රිප්ටෝ සේවා සැපයීම දුෂ්කර කර තිබේ.

මෙවැනි පියවරක් ගැනීම, ඇමෙරිකාව ලෝකයේ ක්‍රිප්ටෝකරන්සි අගනුවර බවට පත් කරන බවට පසුගිය ජූලි මාසයේදී ට්‍රම්ප් දුන් පොරොන්දුව ඉටු කිරීමට විශාල පිටිවහලක් වනු ඇත.

ඔහු එම පොරොන්දුව ඉටු කළහොත්, එය, 2021 දී ට්‍රම්ප්, බිට්කොයින් යනු “වංචාවක්” ලෙස හැඳින්වීමේ සිට කැපී පෙනෙන පෙරළියක් සනිටුහන් කරනු ඇත.

Woman looks at chatbot on her phone

AI තාක්ෂණය පුද්ගලානුරූප වනු ඇත – සෝ ක්ලයින්මන්, බීබීසී තාක්ෂණ සංස්කාරක

AI මෙවලම් අපගේ දුරකතනවලට පැමිණීමත් සමග, ඡායාරූප සංස්කරණය කිරීම, භාෂා පරිවර්තනය කිරීම සහ වෙබ් සෙවුම් සිදු කිරීමට හැකි සේවාවන් ඇපල්, ගූගල් සහ සැම්සුන් සමාගම් දියත් කර තිබේ. AI අපගේ ඩිජිටල් ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වන යුගයක ආරම්භයේ අප සිටින අතර පෞද්ගලික මට්ටමින් එයින් ලැබිය හැකි ප්‍රයෝජන වැඩි වී තිබේ.

නමුත්, ඒ අපි එයට ඉඩ දෙන්නේ නම් පමණි. මක් නිසාද යත්, අපි ඒ කෙරෙහි විශ්වාස කිරීම අවශ්‍ය වන බැවිනි.

උදාහරණයක් ලෙස ඔබේ දිනපොත ගනිමු. ඔබ ඉඩ දුනහොත්, AI මෙවලමක් භාවිතයෙන් කාර්යක්ෂමව ඔබ සඳහා ඔබේ දිනය කළමනාකරණය කළ හැක. නමුත් මෙය කොපමණ දුරක් යා යුතු ද?

මෙය සැබවින් ම ප්‍රයෝජනවත් වීම සඳහා, ඔබ හමුවීමෙන් වැළකී සිටීමට කැමති කවුරුන් ද? ඔබට රහසිගතව තබා ගැනීමට අවශ්‍ය සබඳතා මොනවා ද? ආදී දේ එය දැනගත යුතු ය.

එමෙන් ම, උපදේශන සැසි හෝ වෛද්‍ය හමුවීම් පිළිබඳ සාරාංශ ඔබට ලබා දීම සඳහා එයට ඉඩ දීමට ඔබට අවශ්‍ය ද?

මෙයින් සමහරක් ඔබේ අතිශය පෞද්ගලික තොරතුරු වන අතර, යම් වැරදී යාමකින් ඒවා පිටස්තරයන් අතට පත්වීම ඔබව ඉතා ලැජ්ජාසහගත තත්ත්වයකට ඇද දමනවා විය හැකි යි. එමෙන් ම, මෙම තොරතුරු තෙවන පාර්ශවවලට ඉතා වටිනා තොරතුරු ය. ඔබ ඒ ආකාරයේ තොරතුරුවල ආරක්ෂාව ගැන, මෙම විශාල තාක්ෂණික සමාගම් විශ්වාස කරනවා ද?

මයික්‍රොසොෆ්ට් සමාගම, ‘Recall’ නම් මෙවලමක් නිසා 2024 දී විවේචනයට ලක් විය. පරිශීලකයින්ට ඔවුන් කොහේ හෝ දුටු, නමුත් නිශ්චිතව මතකයට නගා ගත නොහැකි අන්තර්ගතයන් නැවත සිහි කැඳවීම සඳහා සෑම තත්පර කිහිපයකට වරක් ම ලැප්ටොප් ඩෙස්ක්ටොප් තිරවල ඡායාරූප ගැනීම එයින් සිදු විය. මෙම මෙවලම කිසි විටෙකත් භාවිත නොකළ ද, මේ වන විට එහි වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති මයික්‍රොසොෆ්ට් සමාගම එහි හැකියාවන් පිළිබඳව සහතික වෙයි.

“මම හිතන්නේ අපි මූලික වශයෙන් නව යුගයකට ගමන් කරමින් සිටිනවා. එහිදී ඔබේ එදිනෙදා ජීවිතයේ සෑම දෙයකට ම සහය වීමට දක්ෂ සගයන් සිටිනු ඇත.” යි AIහි සමාගමේ ප්‍රධානි මුස්තාෆා සුලෙයිමාන් මෑතකදී මා සමග පැවසීය.

අභියෝග මධ්‍යයේ වුව ද, තාක්ෂණ පර්යේෂණ සමාගමක් වන CCS Insightහි ප්‍රධාන විශ්ලේෂක බෙන් වුඩ්, 2025 දී වඩාත් පුද්ගලාරෝපිත AI සේවාවන් මතුවනු ඇතැයි අපේක්ෂා කරයි.

“ඊමේල්, කෙටි පණිවුඩ, ලේඛන සහ සමාජ මාධ්‍ය අන්තර්ක්‍රියා වැනි පරිණාමය වන දත්ත මූලාශ්‍ර භාවිත කරමින් ප්‍රතිඵලය අඛණ්ඩව යාවත්කාලීන කෙරේ.”

“AI සේවාවට, පුද්ගලයෙකුගේ සන්නිවේදන ශෛලිය, අවශ්‍යතා සහ කැමැත්ත දක්වන දේ මත ඔහුට ම ගැළපෙන සේවා සැපයීමට මෙයින් ඉඩ ලැබෙනවා,” ඔහු පවසයි.

නමුත් ඔබේ පෞද්ගලික තොරතුරු නිදහසේ AI සමග බෙදා ගැනීම, බරපතළ තීරණයක් බව වුඩ් පිළිගනී.

“විශ්වාසය අත්‍යවශ්‍ය යි,” වුඩ් පවසයි.

Two workers in a datacentre in hi-vis jackets

වෙනස්වන දත්ත – බෙන් මොරිස්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තාක්ෂණ සංස්කාරක

කෘත්‍රිම බුද්ධිය සඳහා වැඩි මුදලක් යොදවන තරමට, වැඩි දත්ත මධ්‍යස්ථාන ගොඩ නැංවීම අවශ්‍ය වනු ඇත.

AI පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණක සම්පත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වන අතර ඒවා වඩා හොඳින් ක්‍රියාත්මක වන්නේ නවතම පරිගණක සහ සේවා සම්බන්ධීකරණයන් සමග ය.

ඉදිරි වසර පහ තුළ ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ මෙටා ඇතුළු විශාලතම දත්ත පරිශීලකයින් විසින්, දත්ත මධ්‍යස්ථාන උදෙසා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක තරම් ආයෝජනයක් කිරීමට ඉඩ ඇති බව CCS ඉන්සයිට් පවසයි.

2024 සහ 2028 අතර කාලයේදී, යුරෝපයේ පමණක්, දත්ත මධ්‍යස්ථාන ධාරිතාව වාර්ෂිකව සාමාන්‍යයෙන් 9%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව දේපළ සේවා සමාගමක් වන සැවිල්ස් පවසයි.

නමුත් එම නව පහසුකම් ද, ලන්ඩන්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ඇම්ස්ටර්ඩෑම් වැනි වර්තමානයේ දත්ත මධ්‍යස්ථාන ඇති ස්ථානවල ම ඉදිවනු නොඅනුමාන ය.

සැවිල්ස් පවසන්නේ, එම නගරවල ඉඩම් ඉතා විශාල මිලකට අලෙවි වන බව ය. ලන්ඩන්හි ඉඩම් මිල අක්කරයක මිල පවුම් මිලියන 17ක් දක්වා ඉහළ යා හැක. මීට අමතරව අධික විදුලි සැපයුම වෙනුවෙන් සංවර්ධකයින් වෙනත් තැන් ද සොයා යාමට ඉඩ තිබේ.

කේම්බ්‍රිජ්, මැන්චෙස්ටර් සහ බර්මින්හැම් වැනි එක්සත් රාජධානියේ නගර මෙම දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේ ඊළඟ ඉලක්ක විය හැක.

එමෙන් ම, යුරෝපයේ සලකා බැලෙන නගර බවට ප්‍රාග්, ජෙනෝවා, මියුනික්, ඩසල්ඩෝෆ් සහ මිලාන් පත්වීමට ඉඩ තිබේ.

Nvidia's Blackwell chip on a circuit board

එම නව දත්ත මධ්‍යස්ථාන සමහරක විශාලතම කාර්යභාරය AI සඳහා භාවිත කෙරෙන චිප්ස් සඳහා වෙළෙඳපොළ ආධිපත්‍යය දරන Nvidia සමාගමේ නවතම පරිගණක චිප් වෙත පැවරෙනු ඇත.

2024 මාර්තු මාසයේදී හඳුන්වා දුන් බ්ලැක්වෙල් චිපය 2025 දී, සැලකිය යුතු සංඛ්‍යාවකින් අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව චිපය, තාක්ෂණික සමාගම්වලට සිව් ගුණයක් වේගයෙන් AI ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනු ඇති අතර, එය වර්තමාන පරිගණක චිප්වලට වඩා 30 ගුණයක වේගයක් AIවලට ලබා දෙනු ඇති බව ඇමෙරිකානු සුරැකුම් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක විවේක් ආර්යා පවසයි.

Nvidia සමාගමේ විශාලතම ගනුදෙනුකරුවන් වන මයික්‍රොසොෆ්ට්, ඇමේසන්, මෙටා සහ කෝවීව් මෙම තාක්ෂණය පළමුව ලබා ගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ.

නමුත් 2025 දී ඉල්ලුමේ තරමට චිප් නිපදවී නොමැති හෙයින් අනෙකුත් ගනුදෙනුකරුවන්ට සුපිරි චිපය ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇතැයි ආර්යා පවසයි.

BBC News