නලින්දගේ අමාත්‍යංශයට විජිත පත් කල ලේක් හවුස් සභාපති පුද්ගලික පලිගැනීම් හමුවේ සිළුමිණ තවත් අරබුධයක

0
සිළුමිණ කතෲ දූරය

සිළුමිණ කතෲ දූරයට ජවිපෙ හිතවාදී අයෙකු පත්කරගැනීමේ කුමන්ත්‍රණයක් සාර්ථක වී තිබේ ඒ සඳහා සුදුසුකම් සහිත සම්මුඛ පරීක්ෂණයෙන් ඉහලම ලැබිය යුතු සිළුමිණ හිටපු නියෝජ්‍ය කතෲ සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය වෙත සිළුමිණ කතෲ දූරය එතුමියට ලැබීම වලක්වාලීමේ අරමුණෙන් පුහුණු අංශය වෙත සුමුදු මහත්මියව ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීම හරහා සිළුමිණ අභ්‍යන්තරයේ මෙන්ම සමස්ථ ලේක් හවුස් ආයතනය පුරාම විහිදී යන දේශපාලනීකරනයේ සලකුණු ඉවතට විද්‍යාමාන වෙමින් පවතී.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිළුමිණ කතෲ ධූරය සඳහා අභ්‍යන්තර සහ බාහිර අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට දැන් වීම් පල කර තිබිණි. ඒ සඳහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබුණේ ස්වාධීන සම්මුඛ පරීක්ෂනයක් හරහා නව රජය විසින් නිවැරදි පත්කිරීමක් සිදුකරනු ලබනු ඇතැයි විශ්වාසය මතය. යම් දේශපාලන අතපෙවීම් තිබුනද මින් පෙර පැවති රජයන් මෙවන් සංවේදී තනතුරු සඳහා දේශපාලනය ප්‍රධාන මිනුම්දන්ඩක් ලෙස නොසලකා කටයුතු කල බවට සමස්ථ ලේක් හවුස් කාර්‍යමණ්ඩලයම සාක්ෂි දරන බව ලේක් හවුස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

සිළුමිණ ප්‍රධාන කතෲ ලෙස විජේවීර සමග එකම වේදිකාවේ රැලි ඇමතූ අයෙක්

රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනය තුල මෙම සියළු අරබුධයන් නිර්මාණය වන්නේ ලේක් හවුස් සභාපති ධූරයට ගාමිනී වරුශමාන්න නම් පුද්ගලයා පත්වීමත් සමගය. මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව අත්දැකීම් අඩු අදාල සභාපතිවරයා පත්වීම ලබාගන්නේ විශය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිර්දේශ මත නොවන අතර වත්මන් රජයේ බලසම්පන්නම පුද්ගලයා ලෙස සැලකෙන විජිත හේරත් අමාත්‍යවරයාගේ නිර්දෙශ මත අදාල පත්කිරීම සිදුකර ඇති බව පක්ෂ අභ්‍යන්තර තොරතුරු හරහා අනාවරණය වේ.

එම පත්කිරීම වෙනුවෙන් සාධාරණය ඉටුකරනු වස් කිසිදු රජයකින් නොකල පරිදි අනෙක් පක්ෂවල වෘත්තීය සමිති නායකයින්ට විවිධ චෝදනා කරමින් ඔවුන් ප්‍රධාන කාර්‍යාලයෙන් මාරු කරවමින් සුදුසුකම් ලත් නිලධාරීන් වෙනත් අංශයන්ට මාරු කරමින් විජේවීර සමගින් දේශපාලන වේදිකා ඇමතූ නිසාවෙන්ම පමණක් ප්‍රධාන කතෲ දූරයන් පිරිනමමින් ලේක් හවුස් සභාපතිවරයා විසින් සිදුරනු ලබන මෙම ක්‍රියාවන් කෙරෙහි සිළුමිණ අභ්‍යන්තරයේ මෙන්ම සංවේදී පුරවැසියන් අතරද විශාල අප්‍රසාදයක් නිර්මාණය වෙමින් පවතී.

කෙසේ නමුත් මේ වන විට සිළුමිණ නියෝජ්‍ය කතෲ ධූරය සඳහාද තාරක වික්‍රමසේකරව පත්කර ඇති අතර සුදුසුකම් ඇත්තවුන් පලවාහරිමින් නුසුදුස්සන්ට තනතුරු ප්‍රධානය කිරීම හරහා සිළුමිණ පුවත්පත තිබූ තැනිනුත් බොහෝ පහලට ගමන් කරනු ඇති බවට කාර්‍ය මණ්ඩලය බිය පලකරති.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය අදාළ තනතුරින් ඉවත් කිරීම කරුණු ගණනාවකට අදාළව සැලකීමේදී කිසිසේත්ම යුක්ති සහගත නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසය බව ද එම ලිපියේ සඳහන් වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්, ලසන්ත ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා, ගරු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍යංශය, කොළඹ 05.

ගරු අමාත්‍යතුමනි,

සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය අදාළ තනතුරින් ඉවත් කිරීම කරුණු ගණනාවකට අදාළව සැලකීමේදී කිසිසේත්ම යුක්ති සහගත නොවන බව අපගේ විශ්වාසයයි.
ඇයට සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරය හිමිව ඇත්තේ කිසියම් දේශපාලන ළැබැඳියාවක් නිසා හෝ හුදු පාලන අධිකාරියේ අනුග්‍රහයක් හේතුවෙන් හෝ නොවේ. ලේක්හවුස් ආයතනය අදාළ පුරප්පාඩුව සඳහා අභ්‍යන්තරික වශයෙන් අයදුම් පත් කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වී  පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම සුදුසුකම් සහතික කිරීමෙන් පසුවය.
එවැනි පසුබිමක ඇය දරමින් සිටි තනතුරින් ඉවත් කරන්නේ නම් එය සිදුකල හැකි වන්නේ නිසි ලෙස තනතුරේ වගකීම් ඉටු කිරීමට අසමත් වීම හෝ වෙනත් විනය විරෝධී කටයුත්තකට වරදකාරියෙකු බවට චෝදනා ඉදිරිපත් කරමින් සිදුකරන විධිමත් පරීක්ෂණයකින් අනතුරුවය. එමෙන්ම ආයතනයේ අවශ්‍යතා සඳහා ඇයගේ සේවය ලබාගැනීම සඳහා ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන්නේ නම් එය ලබා දිය යුතුව තිබුණේ ද මාධ්‍යවේදිනියක ලෙස ඇයගේ සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන වෙනත් පුවත පතක් වෙතටය. එහෙත් සභාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඇය ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමියට ඇය අනුයුක්ත කර ඇත්තේ තනතුරින් ද පහත හෙළමින් වන බව පැහැදිලිවම පෙනෙන කරුණකි.

මේ සියළු කරුණු සලකා බැලීමේදී වත්මන් ලේක්හවුස් පාලනාධිකාරිය මගින් සුමුදු චතුරාණි මාධ්‍යවේදිනිය වෙත සිදුකර ඇත්තේ බලවත් අසාධාරණයකි. අයුක්ති සහගත ක්‍රියාවකි.

එබැවින් ගරු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර ඇයට සාධාරණයක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!
මෙයට, ලසන්ත ද සිල්වා, ලේකම්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.