කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් වැඩ තහනම් උනත් දිගටම වැඩ

0
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී

 

වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලබා දී ඇති තහනම නොතකමින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා රාජකාරි කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයෙකු ලෙස සේවය කළ මොහොමඩ් නිසාර් රුහුල් හක් මහතාගේ ලියාපදිංචිය 2022 දෙසැම්බර්  මාසයේ සිට මාස 8ක කාලයක් දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන තිබුණි.

ඒ ඔහුට එරෙහිව එල්ල වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසුව ලබාදුන් දඬුවමක් ලෙසටය.

එම තහනම ඉවත් වීමට නියමිතව ඇත්තේ 2023 එනම්, මේ වසරේ අගෝස්තු 20 වැනිදාය.

වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් එළෙස තහනමක් පනවා ඇති පසුබිමක බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමකින් වකුගඩු දෙකම ඉවත්කිරීමෙන් මිය ගිය හම්දි ෆස්ලීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ද ඔහු සිදුකර තිබේ.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී

එම වාර්තාවෙන් ඔහු දක්වා තිබුණේ හම්දිට උපතින්ම එක් වකුගඩුවක් පමණක් තිබූ බවය.

කෙසේවෙතත් ඔහු විසින් ලබා දී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් පෙර පැවති නඩු කටයුතුවලදී තහවුරු වී ඇති බැවින් එම වාර්තාව පමණක් පදනම් කරගෙන හම්දිගේ ඉදිරි විමර්ශන සිදු නොකරන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය බොරැල්ල පොලිසියට නියෝග කළේය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී

එමෙන්ම ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රුහුල් හක් මහතා විසින් සිදුකර ඇති අතර එම වාර්තාවේ මුල් පිටපත හා අවසන් සවිස්තර වාර්තාව අතර පරස්පරතා නිරීක්ෂණය වූ බවද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් අප කළ විමසීමකදී වෛද්‍ය රුහුල් හක් මහතා පැවසුවේ ලියාපදිංචිය අත්හිටුවීම සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් සිදුකළ අතර ඒ අනුව යළි සේවය කිරීමට අවස්ථාව හිමිවූ බවය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණයට එරෙහිව පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන්, වෛද්‍ය සභාවේ බලතල ප්‍රකාරව වෛද්‍යරයාට එරෙහිව විමර්ශනයක් සිදුකරන බව වෛද්‍ය සභාව පවසයි.