සුපිරි හෝටලයක් තුළදී සයනයිඩ් ශරීරගතව මියගිය මළ සිරුරු 6 ක් සොයා ගැනේ

0
සුපිරි හෝටලයක් තුළදී

බැංකොක් නුවර සුපිරි හෝටලයක් තුළදී මියගිය පුද්ගලයන් හය දෙනාගේ ම රුධිරයේ තිබී සයනයිඩ් හමුවී ඇතැයි ඔවුන්ගේ සිරුරු පරීක්‍ෂා කළ වෛද්‍යවරු පවසති.

මූලික පශ්චාත් මරණ පරීක්ෂණය මත පදනම්ව, ඔවුන් පවසන්නේ, ඔවුන්ගේ මරණවලට “සයනයිඩ් හැර” පැහැදිලි කිරීමට “වෙනත් හේතුවක්” නොමැති බව ය.

නමුත් මෙම මාරාන්තික රසාය ද්‍රව්‍යය “කෙතරම් සාන්ද්‍රණයකින් ශරීරගත වී තිබුණා ද” සහ වෙනත් විෂ ද්‍රව්‍ය තිබුණා ද යන්න තීරණය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

වින්දිතයින් විසින් භාවිත කරන ලද තේ කෝප්පවල සයනයිඩ් අඩංගු බවට අධිකරණ වෛද්‍ය විමර්ශකයින් මීට පෙර සොයා ගෙන තිබිණි. ඔවුන් සියලු දෙනාට ම වියට්නාම සම්භවයක් ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුට ද්විත්ව එක්සත් ජනපද පුරවැසිභාවය තිබේ.

වින්දිතයින්ගේ තොල් සහ නිය ඔක්සිජන් හිඟයක් පෙන්නුම් කරමින් තද දම් පැහැයට හැරී තිබුණු අතර ඔවුන්ගේ අභ්‍යන්තර අවයව “රතු” පැහැයට හැරී තිබුණු බව ත් එය සයනයිඩ් විෂ වීමේ තවත් ලකුණක් බව ත් චූලලොංකෝන් විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය කොන්කියෙට් වොංපයිසර්සින් පැවසීය.

එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය චංචයි සිටිපූන් පැවසුවේ, මියගිය පුද්ගලයින්ගේ රුධිරයේ කොපමණ සයනයිඩ් ප්‍රමාණයක් අන්තර්ගත වී ඇතිදැයි සොයා බැලිය යුතු බව ය.

“නමුත් අපි අනාවරණය කර ගත් දේවල් – නිරීක්ෂණයෙන්, අභ්‍යන්තර ඉන්ද්‍රිය පරීක්ෂාවෙන්, පරීක්ෂණවලදී රුධිරයෙන් සයනයිඩ් සොයා ගැනීමත් එක්ක සයනයිඩ් හැර ඔවුන්ගේ මරණයට හේතු වන වෙනත් හේතුවක් නැහැ,” ඔහු වාර්තාකරුවන් වෙත පැවසීය.

තායිලන්තයේ අගනුවර පිහිටි ග්‍රෑන්ඩ් හායට් එරාවන් (Grand Hyatt Erawan) හෝටලයේ සේවිකාවන් විසින් අඟහරුවාදා අගභාගයේදී මෙම මියගිය පිරිස සොයා ගන්නා ලදහ.

විමර්ශකයින් විශ්වාස කරන්නේ, ඒ වන විටත් ඔවුන් මියගොස් පැය 12ත් 24ත් අතර කාලයක් ගතව තිබුණු බව ය.

මෙම අබිරහස ලොව පුරා සිරස්තල මවන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තවිසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරනු ලැබ ඇති අතර, මෙම මරණ “පෞද්ගලික කාරණයක” ප්‍රතිඵලයක් බව ත්, පොදු අනතුරක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බව ත් අවධාරණය කළේ ය.

එතැන් සිට සිදුවන්නට ඇත්තේ කුමක්දැයි අනාවරණය කර ගැනීමට පොලිසිය සාක්ෂි රැස් කිරීම ආරම්භ කර තිබේ.

වින්දිතයින් හය දෙනාගෙන් දෙදෙනෙක් ආයෝජන අරමුණු සඳහා මියගිය තවත් අයෙකුට “තායි බාත් කෝටි ගණනක්” ණයට දී ඇති බවට බලධාරීහු පවසති. බාත් මිලියන දහයක් ඇමෙරිකානු ඩොලර් 280,000ක් (පවුම් 215,000) පමණ වේ.

Plates of food left untouched in the hotel room
අත නොතැබූ හෝටල් කාමරයේ ඇති කෑම පිඟන්

බදාදා පෙරවරුවේ, බැංකොක් නියෝජ්‍ය පොලිස් ප්‍රධානී ජෙනරල් නොපාසින් පුන්සවාත් මාධ්‍ය හමුවකදී පැවසුවේ, මෙම කණ්ඩායම සති අන්තයේ වෙන වෙන ම හෝටලයට ඇතුළු වූ බව ත් හත්වන මහලේ හතරක් සහ පස්වන මහලේ එකක් ලෙස වෙන වෙන ම කාමර ලබා ගෙන ඇති බව ත් ය.

ඔවුන් සඳුදා ඉන් පිටව යාමට නියමිතව තිබුණු නමුත් එය සිදු නොවිණි.

මියගිය අයගෙන් හතර දෙනෙකු, එනම් 46 හැවිරිදි තී න්යෙන් ෆුඔංග්, 49 හැවිරිදි ඇගේ සැමියා වන හොං ෆම් තැන්හ්, 47 හැවිරිදි තී න්යෙන් ෆුඔංග් ලෑන් සහ 37 හැවිරිදි ඩින් ට්‍රැන් ෆූ වියට්නාම ජාතිකයෝ වෙති.

අනෙක් දෙදෙනා ඇමෙරිකානු පුරවැසියන් වන 56 හැවිරිදි ෂෙරීන් චොං සහ 55 හැවිරිදි ඩං හුං වෑන් වෙති.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර තත්ත්වය පිළිබඳව “සමීපව නිරීක්ෂණය කරන” බව පැවසීය. ශ්‍රෙතා පැවසුවේ, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පරීක්ෂණය සඳහා තායි බලධාරීන්ට සහය වන බව ය.

සුපිරි හෝටලයක් තුළදී සිදුවී ඇතැයි පොලිසිය සැක කරන්නේ කුමක් ද?

චේතනාව අපැහැදිලි නමුත් පොලිසිය පැවසුවේ, හය දෙනාගෙන් දෙදෙනෙකු කණ්ඩායමේ තවත් පුද්ගලයෙකුට සැලකිය යුතු මුදලක් ණයට දී ඇති අතර එය ආපසු නොගෙවා ඇති බව ය.

සඳුදා පස්වරුවේ මියගිය හය දෙනා ම පස්වන මහලේ කාමරයට රැස්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම කණ්ඩායම ආහාර සහ තේ ඇණවුම් කර ඇති අතර, එය එරට වේලාවෙන් පස්වරු 2:00ට කාමරයට ලබා දී තිබේ. එම අවස්ථාවේ කාමරයේ සිටි එක ම පුද්ගලයා වූ චොං විසින් ඒවා ලබා ගනු ලැබ ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව, වේටර්වරයකු අමුත්තන්ට තේ සාදා දීමට ඉදිරිපත් වී ඇති නමුත් චොං එය ප්‍රතික්ෂේප කර තිබේ. ඇය “ඉතා අඩුවෙන් කතා කළ බව ත් ආතතියෙන් සිටි බවක් පෙනුණු බව ත්” වේටර්වරයා සිහිපත් කළ බව බලධාරීහු පවසති.

පසුව ඔහු කාමරයෙන් පිටව ගොස් තිබේ.

කණ්ඩායමේ සෙසු පිරිස පස්වරු 2:03 සහ 2:17 අතර කාලය තුළ අවස්ථා කිහිපයකදී කාමරයට ඇතුළු වී ඇත. කාමරය තුළ සිටි හය දෙනා හැර වෙනත් කිසිවෙකු කාමරයට ඇතුළු වී නැති බවට විශ්වාස කෙරන අතර පොලිසිය පැවසුවේ, කාමරයේ දොර ඇතුළතින් අගුළු දමා තිබී ඇති බව ය.

A screen displays the crime scene diagram during a presser following a case of six foreign nationals who were found dead inside a room at Grand Hyatt Erawan Hotel at Lumpini Police Station, in Bangkok, Thailand, July 17, 2024
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිසිය අපරාධ ස්ථානයේ රූප සටහනක් තිරයක පෙන්වන අයුරු

පොරබැදීමක්, කොල්ලකෑමක් හෝ බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු වූ බවට කිසිදු සලකුණක් නොතිබූ බව පොලිසිය පවසයි. පසුව ඔවුහු තේ කෝප්ප හයේ ම සයනයිඩ් ඇති බවට සොයා ගත්හ.

පොලිසිය විසින් නිකුත් කරන ලද ඡායාරූපවල කාමරයේ මේසයක් මත අනුභව නොකළ ආහාර අඩංගු පිඟන් දැක ගත හැකි වන අතර ඒවායින් සමහරක් පොලිතීන් කවරවලින් පවා ආවරණය කර ඇති ආකාරය පෙනේ.

හෝටලය වෙන් කරවා ගත් කණ්ඩායමේ ලැයිස්තුවේ හත්වන නමක් තිබී ඇති අතර ඇය මියගිය අයගෙන් එක් අයෙකුගේ බාල සොහොයුරිය ලෙසට පොලිසිය හඳුනාගෙන ඇත. ඇය පසුගිය සතියේ තායිලන්තයේ සිට වියට්නාමයේ වෙරළබඩ නගරයක් වන ඩ නන්ග් වෙත ගොස් ඇති අතර මෙම සිද්ධියට ඇගේ සම්බන්ධයක් නොමැති බව පොලිසිය පවසයි.

පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වුණු ඥාතීන් පැවසුවේ, තී න්යෙන් ෆුඔංග් සහ හොං ෆම් තැන්හ් යුවළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපාරයකට හිමිකම් කී බව ත් ජපානයේ රෝහලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට චොං වෙත මුදල් ලබා දී ඇති බව ත් ය.

ඩ නන්ග්හි වෙසෙන වේශ නිරූපණ ශිල්පියෙකු වන ට්‍රැන් ද “මුලා කර” ආයෝජනයක් කිරීමට පොළඹවාගෙන ඇති බවට පොලිසිය සැක කරයි.

ට්‍රැන්ගේ මව වන ටුයී බීබීසී වියට්නාම සේවය වෙත පැවසුවේ, ඔහු සිකුරාදා තායිලන්තය බලා ගිය බව ත් සඳුදා දක්වා ඔහු එහි රැඳී සිටින කාලය දීර්ඝ කළ යුතු බව පැවසීමට ඉරිදා නිවසට කතා කළ බව ත් ය. එය ඔහු ඔහුගේ පවුලේ අය ඇමතූ අවසාන අවස්ථාව විය. ඇය සඳුදා නැවතත් ඔහුට ඇමතුමක් ගත්ත ද ඔහු ඇමතුමට පිළිතුරු දුන්නේ නැත.

මෙම සංචාරය සඳහා චොං, ට්‍රැන් තම පෞද්ගලික් වේශ නිරූපණ ශිල්පියා ලෙස කැටුව ගොස් ඇති බවට ඔහුගේ ශිෂ්‍යාවක් බීබීසී වියට්නාම සේවය වෙත පැවසීය. ට්‍රැන්ගේ පියා වන ෆූ වියට්නාම මාධ්‍ය වෙත පැවසුවේ, තම පුතු පසුගිය සතියේ වියට්නාම කාන්තාවක විසින් තායිලන්තයට බලා යාම සඳහා සේවයට බඳවා ගත් බව ය.

තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රටවල් 93ක සංචාරකයින්ට වීසා රහිතව රටට ඇතුළු වීමට තිබූ ක්‍රමවේදය පුළුල් කිරීමෙන් දිනකට පසු මෙම මළ සිරුරු හය සොයා ගැනිණි.

සයනයිඩ් යනු මොනවා ද සහ එය කෙතරම් අනතුරුදායක ද?

සයනයිඩ් යනු වේගයෙන් ක්‍රියා කරන, මාරාන්තික විය හැකි අධික විෂ සහිත රසායනිකයකි. සයනයිඩ් සුළු ප්‍රමාණයක් ස්වභාවධර්මය තුළ සහ අප අනුභව කරන සහ භාවිත කරන නිෂ්පාදනවලින් හමුවේ. නමුත් විශාල මාත්‍රාවලින් ගත් කළ එය කුප්‍රකට වස ලෙස සැලෙකෙන අතර එහි ඇති වේගයෙන් ක්‍රියා කරන සහ ඉතා මාරාන්තික ගුණාංග නිසා රසායනික යුධ අවියක් ලෙස ද භාවිත කර ඇත.

එය අවර්ණ වායුවක් හෝ දියරයක් ලෙස හෝ ස්ඵටික ආකාරයෙන් පැවතිය හැක. ආශ්වාස කිරීමෙන්, සම හරහා අවශෝෂණය වීමෙන් හෝ ඒවා අඩංගු ආහාර හෝ දියර ආහාරයට ගැනීමෙන් මිනිසුන් සයනයිඩ්වලට නිරාවරණය විය හැකි ය.

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට (CDC) අනුව, සයනයිඩ් විශාල ප්‍රමාණවලින් ශරීරගත වූ විට, පෙනහළුවලට හානි වීම, කෝමා තත්ත්ව ඇති වීම සහ තත්පර කිහිපයකින් මරණයට පත් වීමට පවා හේතු විය හැකි ය.

කුඩා මාත්‍රාවක් ශරීරගත වුව ද, සයනයිඩ් ඉතා හානිකර ය. ඉන් පපුවේ වේදනාව, ඔක්කාරය, කෙටි හුස්ම ගැනීම සහ වමනය ඇති විය හැකි ය.

සයනයිඩ්වලින් “දැඩි ආමන්ඩ්” සුවඳක් නිකුත් විය හැකි නමුත් සෑම කෙනෙකුට ම මෙය හඳුනාගත නොහැකි අතර ඉන් සැමවිට ම ගන්ධයක් නිකුත් නොවෙයි.