ජන රැලියක් අතරතුර වෙඩි ප්‍රහාරකින් ඩොනල්ඩ් ට්‍රම්ප් නූලෙන් බේරුන හැටි. සම්පූර්ණ විස්තරය මෙන්න.

0
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්‍රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් ඉවත් වුණු අතර එම ප්‍රහාරය ඝාතන තැතක් බවට විශ්වාස කෙරේ.

වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණේ, වෙඩි මාලාවක තියුණු හඬ මධ්‍යයේ ඔහු බිමට පහත් වීමට පෙර යම් අපහසුතාවකින් යුතුව ඔහුගේ එක් අතක් දකුණු කන වෙත ඔසවන අයුරු ය.

එකවර ම එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයන් විසින් ඔහු වට කර ගන්නා ලද අතර ඔහු කඩිනමින් වේදිකාවෙන් ඉවත් කර මෝටර් රථයක් වෙත ගෙන යනු ලැබිණි. මෝටර් රථය වෙත ගෙන යන අවස්ථාවේ ඔහු මිට මොළවා සිය හස්තය ඉහළට එසවීය.

සිය සමාජ මාධ්‍ය ජාලය වන Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, වෙඩි උණ්ඩයක් ඔහුගේ දකුණු කනේ “ඉහළ කොටස” පසාරු කරගෙන ගොස් ඇති බව ය. මීට පෙර, ඔහුගේ ප්‍රකාශකයා පැවසුවේ, ඔහුගේ තත්ත්වය “යහපත්” බව ත් ඔහු ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබූ බව ත් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

“සීස් ගාගෙන යන සද්දේ එක්ක මට තේරුණා මොකක් හරි වැරදිලා කියලා. ඒත් එක්ක ම මට දැනුණා උණ්ඩයක් මගේ හම පසාරු කරගෙන යනවා,” ට්‍රම්ප් ලිවී ය. “ලේ ගොඩක් ගියා. ඒකත් එක්ක මට තේරුණා මොකක් ද වෙන්නේ කියලා.”

ආරක්ෂක නිලධාරීන් ට්‍රම්ප් ඉවතට ගෙන යන මොහොතේ ඔහුගේ කනේ සහ මුහුණේ රුධිරය තැවරී ඇති බවට පැහැදිලිව දැකගත හැකි විය.

ඇමෙරිකානු රහස් සේවා නියෝජිතයන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් සැකකරු එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සේවයේ ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ, වෙඩි තැබීමෙන් ඒ අසල සිටි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

ආරක්ෂක අංශ බීබීසී පුවත් සේවයේ හවුල්කාර පුවත් සේවාව වන සීබීඑස් පුවත් සේවය වෙත පැවසුවේ, වෙඩි ප්‍රහාරය එල්ල කළ පිරිමි පුද්ගලයා රයිෆලයකින් සන්නද්ධව සිටි බව ත්, රැලිය පැවති ස්ථානයෙන් මීටර් සිය ගණනක් එපිටින් වූ උස් ගොඩනැගිල්ලක සිට වෙඩි තැබීම සිදු කර ඇති බවත් ය. මෙම ප්‍රහාරය ඝාතන තැතක් ලෙස සලකන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ට්‍රම්ප් ආරක්ෂිත බවත් ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ත් ගුග්ලියෙල්මි පැවසීය. සක්‍රීය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විමර්ශනය මෙහෙයවන FBI නිලධාරීන් බට්ලර්හිදී වාර්තාකරුවන්ට පැවසුවේ මියගිය තුවක්කුකරු “තාක්ෂණිකව හඳුනාගෙන ඇති” නමුත් තවමත් ඔහුගේ චේතනාව තහවුරු කර ගෙන නොමැති බව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

විශේෂ නියෝජිත කෙවින් රොජෙක් විසින් මෙම වෙඩි තැබීම ඝාතන ප්‍රයත්නයක් ලෙස සලකන බව තහවුරු කළේය.

සැකකරු සතුව හැඳුනුම්පතක් නොතිබු බවත්, ඔහු විධිමත් ලෙස හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන් DNA පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ට්‍රම්ප් ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය ගැන අදහස් දක්වන අවස්ථාවේ වෙඩි ශබ්ද කිහිපයක් ම ඇසෙන්නට විය.

බයිඩන්ට විරෝධය පළ කරන වැකි සටහන් වූ පුවරු අතැතිව ට්‍රම්ප් පිටුපසින් සිටි සිය ආධාරකරුවන් කිහිප දෙනෙකු ද වෙඩි හඬ ඇසීමත් සමග පහත් වන අයුරු දැකගත හැකි විය.

බීබීසීය වෙත අදහස් දැක්වූ අසල බලා සිටි පුද්ගලයින් යෝජනා කළේ, ට්‍රම්ප් රැස්ව සිටි පිරිස අමතන අවස්ථාවේ වේදිකාවට දකුණු පසින් ඇති තනි මහලකින් යුත් ගොඩනැගිල්ලක සිට වෙඩි ප්‍රහාර එල්ල වන්නට ඇති බව ය.

ට්‍රම්ප් වේදිකාවට යාමට මිනිත්තු පහකට පමණ පෙර ගොඩනැගිල්ලේ වහලය මත “වලසෙකු මෙන් බඩගාමින්” යන සැක සහිත පෙනුමක් ඇති පුද්ගලයෙකු දුටු බව එක් සාක්ෂිකරුවෙකු වන ග්‍රෙග් බීබීසීයට පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

“එයා ගාව රයිෆලයක් තිබුණා, අපිට පැහැදිලිව පෙනුණා එයාගේ ළඟ රයිෆලයක් තියෙනවා කියලා,” ඔහු පැවසීය. “අපි ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. පහළ හිටපු පොලිස් නිලධාරීන් කළේ, බිම පරීක්ෂා කළ එක. අපි නිකම්, ‘ඒයි වහල උඩ රයිෆලයක් තියාගෙන මිනිහෙක් ඉන්නවා,’ වගේ හිටියේ. ඒත් මොකක් ද වෙන්නේ කියලා පොලිසියට තේරුණේ නැහැ.”

තවත් සාක්ෂිකරුවෙකු වන ජේසන් බීබීසීයට පැවසුවේ, තමාට වෙඩි හඬ පහක් ඇසුණු බව ත් එය වේගයෙන් පිට වූ බව ත් ය.

“අපි දකිනවා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් ට්‍රම්ප්ව ආරක්ෂා කරන්න ඔහු වෙත යනවා. රැස් වෙලා හිටපු හැම කෙනෙක් ම ඉක්මනට බිමට පහත් වෙනවා,” ඔහු පැවසීය.

“ඊට ටික වේලාවකට පස්සේ ඔහු නැඟිටලා මිට මොළවපු අත උස්සලා, යම් දෙයක් කිව්වා.”

රැලියේ සිටි ටිම් ද බීබීසීයට පැවසුවේ, තමාට “වෙඩි හඬ නොකඩවා” ඇසුණු බව ය.

“අපි මුලින් හිතුවේ ෆයර් හෝස් එකකින් එන වතුර පාරක් කියලා. ඊට පස්සේ දකුණු අත පැත්තේ තිබුණු ස්පීකර් එක පහළට එන්න ගත්තා,” ඔහු පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

“[ඒක වැටෙන්න] මොකක් හරි හයිඩ්‍රොලික් ලයින්වල වදින්න ඇති. අපි දැක්කා ජනාධිපති ට්‍රම්ප් බිමට පහත් වෙනවා සහ තත්ත්වේ අවුල් නිසා හැම කෙනෙක් ම පහත් වෙන්න පටන් ගත්තා.”

වොරන් සහ ඩෙබී එම ස්ථානයේ සිටි අතර ඔවුන්ට අවම වශයෙන් වෙඩි හඬ හතරක්වත් ඇසුණු බව බීබීසීයට පැවසීය.

පැමිණ සිටි පිරිසට පහත් වන ලෙස හඬ නගමින් සෙනඟ අතරින් රහස් ඔත්තු සේවා නිලධාරීන් පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනා ද බිම දිගා වූ බව ඔවුහු පැවසූහ.

“එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට හිතා ගන්න බැරි වුණා,” වොරන් පැවසීය.

ඩෙබී පැවසුවේ ඔවුන් අසල සිටි කුඩා දැරියක, ඇයට මිය යාමට අවශ්‍ය නැතැයි හඬමින් “අපට මෙහෙම වෙන්නේ කොහොම ද?” යැයි පැවසූ බව ය.

“මට ගොඩක් දුක හිතුණා ඒකට,” ඩෙබී පැවසීය.

සිය උපන් ප්‍රාන්තය වන ඩෙලවෙයාර්හි සිට දහස් දක්වමින් ජනාධිපති බයිඩන් ප්‍රහාරය හෙළා දුටුවේ එය, “පිළිකුල්සහගත” බව පවසමිනි.

“මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඇමෙරිකාවේ ඉඩක් නැහැ,” යැයි ඔහු පැවසුවේ, ඉදිරි පැය කිහිපය තුළ ට්‍රම්ප් සමග කතා කිරීමට බලාපොරොත්තු වන බව පවසමිනි. “සෑම කෙනෙකු ම එය හෙළා දැකිය යුතු යි,” යැයි ද ඔහු පැවසීය.

මෙම ප්‍රහාරය හෙළා දැකීමට පක්ෂ දෙකේ ම දේශපාලනඥයෝ බයිඩන් සමග එක් වූහ.

“අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිසේත් ම ඉඩක් නොමැති” බව ත්, “හිටපු ජනාධිපති ට්‍රම්ප්ට බරපතළ හානියක් සිදු නොවීම ගැන තමාට සහනයක් දැනෙන බවත්” හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළේ ය.

ට්‍රම්ප්ගේ හිටපු උප-ජනාධිපති මයික් පෙන්ස් කියා සිටියේ, ඔහු සහ ඔහුගේ බිරිඳ තම හිටපු සගයා වෙනුවෙන් යාච්ඥා කරන බව ත්, “සෑම ඇමෙරිකානුවෙකුට ම අප හා එක්වන ලෙස” ඔහු ඉල්ලා සිටින බවත් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරකින්

හවුස් මයිනෝරිටි නායක හකීම් ජෙෆ්රීස් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත මගේ කණගාටුව පළ කරනවා. ඒ වගේ ම කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. ඇමෙරිකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කිසි ම ආකාරයක දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි.

එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් මෙම වෙඩි තැබීම ජාත්‍යන්තර වශයෙන් හෙළා දැකීමේ පෙරමුණ ගනිමින් පැවසුවේ, “ජනාධිපති ට්‍රම්ප්ගේ රැලියේ කම්පනසහගත දර්ශනවලින් තමා කම්පනයට පත් වූ” බව ය.

“කිසි ම ආකාරයක දේශපාලන ප්‍රචණ්ඩත්වයකට අපගේ සමාජවල ඉඩක් නොමැති අතර මේ ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනාට මම මගේ කණගාටුව ප්‍රකාශ කරමි,” යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

සඳුදා මිල්වාකිහි පැවැත්වෙන සමුළුවේදී ට්‍රම්ප් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිගැනීමට නියමිතව තිබිණි. ඇතැමුන් අනුමාන කර තිබුණේ, බට්ලර් රැලියේදී ඔහු තම උප-ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න හෙළි කිරීමට සූදානම්ව සිටි බවට ය.

2020 මැතිවරණයේ මෙන් ඔහු බයිඩන් සමග තියුණු තරගයක නිරතව සිටියි.

BBC News