සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හෙවත් ලොව වැඩිම පිරිසක් එකම වෙලාවක එක්ව වැඩ කරන මහා සංස්කෘතික මංගල්‍ය

0
අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.

මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දී ඇති පරිදි, සංස්කෘතිය ප්‍රකට වන “සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර” ආදිය අලුත් අවුරුදු සංස්කෘතියට ඇතුළත් වේ.

කෙසේ වෙතත්, අලුත් අවුරුදු සංස්කෘතිය මෙරටට ආවේණික අංගවලින් සමන්විතව ගොඩ නැගුණු “ආවේණික, පාරිශුද්ධ සංස්කෘතියක් නොවන,” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල බීබීසී සිංහල සේවයට පැවසීය.

“මේ උත්සවයේ වැඩිපුර තියෙන්නේ බාහිරින් එකතු වුණ අංග. ඒ නිසා මම මේ උත්සවය හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා,” මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය.

“සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජන සමූහයකගේ සාමූහික ජීවන ක්‍රමය යි. ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වෙයි,” යනුවෙන් මහාචාර්ය විමල් දිසානායක සංස්කෘතිය යන සංකල්පය නිර්වචනය කර තිබේ.

සංස්කෘතිය යනු පුළුල් පරාසයක විහිදී ඇති නිර්වචන රාශියක් සහිත සංකල්පයකි.

අනෙක් අතට, සංස්කෘතිය යනු විවිධ බාහිර ලක්ෂණ සමග සම්මිශ්‍රණය වෙමින් වර්ධනය වන සජීවී ක්‍රියාවලියක් හඳුන්වන සංකල්පයකි.

“බාහිර සමාජයේ ලක්ෂණ සමග සම්මිශ්‍රණය වෙමින් වර්ධනය නොවන සංස්කෘතියක්, මළ සංස්කෘතියක් ලෙස සලකන,” බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, සිංහල හා දෙමළ ජනයා අලුත් අවුරුදු සැමරීමේදී සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන විමසා බැලීම සහ ක්‍රමිකව අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව සරලව පැහැදිලි කිරීම ය.

සුබ දවස් සහ නැකැත්

අලුත් අවුරුදු දිනයන්, නැකැත් ආදිය සකස් කරනුයේ, ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය. ශක යනු ඉන්දියාවේ බිහිවූ අධිරාජ්‍යයෙකි.

ශක රජු ක්‍රි.ව. 78දී උජ්ජයිනී නුවර වික්‍රමාදිත්‍ය නමැත්තෙකුට එරෙහිව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශක වර්ෂ ක්‍රමය ආරම්භ කළ බව කියැවේ.

ඒ අනුව, 2024 වසර ශක රාජ වර්ෂ ක්‍රමය අනුව 1946 වන වසර ලෙස සැලකේ.

ශක රාජ වර්ෂ ක්‍රමය අනුව, අලුත් වසර ආරම්භ වන්නේ, අප්‍රේල් මස 13 හෝ 14 වන දිනක ය. ඒ අනුව, එම දිනවලින් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස නම් කෙරේ.

ඒ අනුව, අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.

‘හිරු එලියත් එක්ක තමයි අපේ නැකත් පටන් ගන්නේ’

සිංහල ජනයාට බලපාන නැකත් සම්බන්ධව වාද විවාද ඇති වටපිටාවක දෙමළ ජනතාව අලුත් අවුරුදු සමරන්නේ කෙසේ දැයි බීබීසි සිංහල සේවය සොයා බලන්නට විය.
දෙමළ බසින් අවුරුද්ද යන්න හඳුන්වනු ලබන්නේ “තමිල් පුත්තාන්ඩු” ලෙසයි. දෙමළ අවුරුදු යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් 13 සහ 14 වැනිදා ය

සිංහල ජනයාට බලපාන නැකත් සම්බන්ධව වාද විවාද ඇති වටපිටාවක දෙමළ ජනතාව අලුත් අවුරුදු සමරන්නේ කෙසේ දැයි බීබීසි සිංහල සේවය සොයා බලන්නට විය.

“අප්‍රේල් 13 රෑ 8.15ට තමයි අවුරුද්ද ඉපදෙන්නේ. හිරු එලියත් එක්ක තමයි අපේ නැකත් පටන් ගන්නේ.” යැයි බීබීසී සිංහල සේවය දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් බොරැල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමා පැවසීය.

දෙමළ බසින් අවුරුද්ද යන්න හඳුන්වනු ලබන්නේ “තමිල් පුත්තාන්ඩු” ලෙසයි. දෙමළ අවුරුදු යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් 13 සහ 14 බව කුරුක්කල්තුමා පෙන්වා දුන්නේය.

මෙවර සිංහල අවුරුදු සැමරුම් 12 සහ 13 වැනිදාට යෙදී ඇති අතර කුරුක්කල්තුමන්ගේ මතකයට අනුව මීට පෙර සිංහල හා දෙමළ අවුරුදු සැමරුම් වෙනස් දින වලදී යෙදී නොමැත.

“අපි ඖෂධ වතුර එකක් හදනවා ඒකට දෙමලෙන් කියන්නේ මර්තිනියර් කියලා. ඒ ඖෂධ වතුර බොහෝම කැපවීමකින් සාමිගොල්ලෝ හදන්නේ. කස්තුරි, පච්ච මංජල්, කොරෝෂණ ඖෂධ සෑහෙන දේවල් දානවා. ඒක උදේ පාන්දර හරි කලින් දවසේ හරි කෝවිල්වලට ගිහිල්ලා අරගෙන ගෙදර ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ අවුරුදු උදා වුණාට පස්සේ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා හිතලා ඉර දෙවියෝ නමස්කාර කරලා, ගෙදර ඉන්න වැඩිහිටියන්ට කියලා ඒ ඖෂධ වතුර ගාලා නාලා ඒ දවසට අදාළ පාටින් ඇඳුම් ඇඳලා කෝවිල් ගිහිල්ලා දෙවියන් වඳිනවා.”

රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුවට අනුව සිංහල ජනතාවට මෙවර ඇතැම් නැකත් යෙදී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දීය. එහෙත් දෙමළ ජනතාව සෑම වසරකම සිය අවුරුදු සැමරුම් සිදු කරනු ලබන්නේ ඉර උදාවත් සමගම වන අතර දහවල් 12ට පෙර එම චාරිත්‍ර කර අවසන් කරනු ලබයි.

“අලුත් අවුරුද්ද 13 රෑ ඉපදුනත් ඒ වෙලාවට අපි කිසිදෙයක් කරන්නේ නැහැ. අපිට පුරාණේ සඳහන් වෙලා තියෙන්නේ ඉර එළිය එක්ක සමරන්න කියලා. එළියනේ වටින්නේ අපිට, අඳුරේ කරන දේවල් නෙමෙයි නේ. ඉර උදාවෙන කොටනේ මල් පවා පිපෙන්නේ. ඒකත් එක්ක සමරන්න කියලා තමයි පුරාණේ තියෙන්නේ.”

නැකත් දෙකකින් අලුත් අවුරුද්ද සැමරීම‍

සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමන් පවසන පරිදි හින්දු වත් පිළිවෙත් වලට අනුව අවුරුදු සැමරීමට ඔවුන්ට ඇත්තේ නැකත් දෙකක් පමණි.

ඒවා නම් අවුරුදු උදාවන අවුරුදු ඉපදීමේ නැකත සහ ගනුදෙනු කරන නැකත යි. එම නැකත කෛයි විශේෂම් ලෙස හඳුන්වනු ලබයි.

කෛයි විශේෂම් නැකත සඳහා නිශ්චිත වෙලාවක් නොමැති අතර කෝවිලට ගොස් දෙවියන් නමස්කාර කිරිමෙන් පසුව ගනුදෙනු කිරීම සිදු කරනු ලබයි.

පවුලේ හෝ ගමේ වැඩිමහල් පුද්ගලයකු සමග ගනුදෙනු කරනු ලබන්නේ අය වැඩි වී වැය අඩු වෙන ලෙස ප්‍රාර්ථනා කරමින් ය.

කුරුක්කල්තුමා පවසන පරිදි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින දෙමළ ජනයා අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ඒ සඳහා අවශ්‍ය වර්ණයන් සහ අනෙකුත් දෑ පිළිබඳව අනුගමන කරනු ලබන්නේ ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය විසින් ලබා දෙනු ලබන නැකත් හා වර්ණවලට අනුවය.

සිංහල චාරිත්‍ර මෙන් වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය කරනු ලැබුව ද ඒ සඳහා දෙමළ ජනතාව හට විශේෂ නැකතක් හෝ වෙලාවක් නොමැත.

මේ වන විට සිංහල අලුත් අවුරුදු කෑම මේසයක සුලබව දැකිය හැකි කැවිලි රැසක් ද වෙනත් රටවලින් සහ සමාජයන්ගෙන් ආගමනය වූ ඒවා බව මහාචාර්ය රත්නසිරි අරංගල පවසයි.
මේ වන විට සිංහල අලුත් අවුරුදු කෑම මේසයක සුලබව දැකිය හැකි කැවිලි රැසක් ද වෙනත් රටවලින් සහ සමාජයන්ගෙන් ආගමනය වූ ඒවා බව මහාචාර්ය රත්නසිරි අරංගල පවසයි.

අවුරුදු කැවිලි

මේ වන විට සිංහල අලුත් අවුරුදු කෑම මේසයක සුලබව දැකිය හැකි කැවිලි රැසක් ද වෙනත් රටවලින් සහ සමාජයන්ගෙන් ආගමනය වූ ඒවා බව මහාචාර්ය රත්නසිරි අරංගල පවසයි.

කිරිබත්: කිරිබත් යන්න ඉන්දියාවේ බුදුන්ගේ සමයේ පවා පැවති කිරිපිඬු යන ආහාරය බව විද්වතුන්ගේ මතයකි.”කිරිබත් පවා ශ්‍රී ලංකාවේ කෑමක් නෙවෙයි. සුජාතා සිටු දියණිය බුදුන් වහන්සේට කිරි පිඬු දානයක් පිරිනැමූ කතාව අපි අසා තිබෙනවා. ඒ කියන්නේ, කිරිවලින් පිසින ලද බත් ඉන්දියාවේ ඈත ඉතිහාසයේදී පැවති බව පෙනී යනවා,” මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය.

කොකිස්: කොකිස් යනු අලුත් අවුරුදු මේසයේ බොහෝවිට දැකිය හැකි කැවිල්ලකි. එය ලන්දේසි බසෙහි koekje (කුඩා කේක්) යන වචනයෙන් සිංහල බසට කොකිස් ලෙස පැමිණ ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය. පසුව එය cookies යනුවෙන් ඉංග්‍රීසි බසට හැරවී ඇතැයි යන්න ඔහුගේ අදහස යි.

ඒ අනුව, අවුරුදු මේසයේ කැවිලි අතර ඇති කොකිස් ද වෙනත් සංස්කෘතියකින් පැමිණි ආහාරයකි.

අච්චාරු: අච්චාරු යන යෙදුම පිළිබඳව අදහස් කිහිපයක් තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව පවසන පරිදි එහි දෙමළ භාෂා ඌරුවක් දක්නට ලැබෙන අතර, මහාචාර්ය රත්නසිරි අරංගල පැවසුවේ, පෘතුගීසින්ගෙන් අපට ලැබුණු ආහාරයක් බව ය.

කේක්: අවුරුදු කෑම මේසයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන කේක් මෑත කාලීනව එක් වූවකි. කේක් යනු යුරෝපා ජාතීන්ගෙන් අපට ලැබුණු ආහාරයකි.

දෙමළ අවුරුදු කෑම මේසය සැරසෙන්නේ කොහොමද?

සිංහල චාරිත්‍ර මෙන් වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය කරනු ලැබුව ද ඒ සඳහා දෙමළ ජනතාව හට විශේෂ නැකතක් හෝ වෙලාවක් නොමැත.
සිංහල චාරිත්‍ර මෙන් වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය කරනු ලැබුව ද ඒ සඳහා දෙමළ ජනතාව හට විශේෂ නැකතක් හෝ වෙලාවක් නොමැත

දෙමළ අවුරුදු කෑම මේසයේ ද සිංහල කෑම මේසයේ මෙන් කිරිබත්, කැවුම්, කොකිස්වලින් සමන්විත බව කුරුක්කල්තුමන් පැවසීය.

“අපේ ලඩ්ඩු තියෙනවා, කේසරී, වඩ, මුරුතැන් බත් කියන්නේ මුං කිරිබත් හදනවා. සහෝදර සිංහල කට්ටිය අනුභව කරන ඒවාම තමයි අපිටත් තියෙන්නේ.” යැයි සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමන් සඳහන් කළේය.

ගුණය හා පෝෂණය ගැන උනන්දුවක් දක්වන දෙමළ ජනයාගේ අවුරුදු කෑම මේසයේ උඳු මිශ්‍ර ආහාර බහුලව දැක ගත හැකි අතර සිංහල ක්‍රමයේ මෙන් පළාතින් පළාතට ඇතැම් අවස්ථාවල කෑම මේසයේ කැවිළි පෙවිළි සුළු වශයෙන් වෙනස් වේ.

අවුරුදු ක්‍රීඩා

අලුත් අවුරුදු ක්‍රීඩා අතර ද විදෙස් රටවලින් පැමිණි ක්‍රීඩා කිහිපයක් ද ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය.
අලුත් අවුරුදු ක්‍රීඩා අතර ද විදෙස් රටවලින් පැමිණි ක්‍රීඩා කිහිපයක් ද ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය

අලුත් අවුරුදු ක්‍රීඩා අතර ද විදෙස් රටවලින් පැමිණි ක්‍රීඩා කිහිපයක් ද ඇතැයි මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය.

කඹ ඇදීම: කඹ ඇදීම බොහෝවිට යුරෝපා රටවලින් මෙරටට පැමිණි ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්යවරයාගේ අදහස යි.

“කඹ ඇදීම කියන ක්‍රීඩාව ඇති වුණේ, නැව්වල දුර ගමන් යන සෙබළුන්ගේ ශාරීරික ව්‍යායාමයක් විදිහට කරපු ක්‍රියාකාරකමක් නිසා යි. ඒ අනුව, මේ ක්‍රීඩාව බොහෝදුරට යුරෝපයෙන් ආපු එකක් වෙන්න පුළුවන්.”

ගම හරහා දිවීම: ගම හරහා දිවීම යනු ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති මැරතන් තරග ඉසව්ව සිහි කැඳවන ක්‍රීඩාවකි.

මැරතන් ක්‍රීඩා ඉසව්ව ග්‍රීසියෙන් ඇරඹුණු බව පිළිගැනේ.

ගම හරහා දිවීම යනු ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති මරතන් තරග ඉසව්ව සිහි කැඳවන ක්‍රීඩාවකි.
ගම හරහා දිවීම යනු ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති මැරතන් තරග ඉසව්ව සිහි කැඳවන ක්‍රීඩාවකි

අවුරුදු ක්‍රිඩා සහ නෑගම් යාම සමාන ද ?

දෙමළ ජන සමාජය ද කඹ ඇදීම, කණා මුට්ටි ගැසීම, කොට්ටා පොර ගැසීම වැනි ක්‍රිඩාවල නිරත වෙති.

“කොළඹ අය නම් මේ වගේ ක්‍රීඩා කරනවා අඩුයි. යාපනය පැත්තේ, හැටන්, නුවරඑළියේ පැත්තේ ඒවා සමරනවා, ක්‍රීඩා උත්සව තියෙනවා.”

දෙමළ ජනයා අවුරුදු දිනයේ දී කෝවිල් ගොස් දෙවියන් නමස්කාර කර නිවසට පැමිණි පසුව එදින දවල් 12න් පසුව සිරිතක් වශයෙන් ගේ දොර වසා දමා පිටතට යාම නොකරති. ඔවුන් නෑගම් යාම හා හිත මිතුරු සාද පවත්වනු ලබන්නේ අප්‍රියෙල් 15 හෝ ඊට පසුවය.

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන් හැර අනෙකුත් දිනවල දී සුබ වෙලාවක දී නෑගම් යාම සිදු කරනු ලබයි.

සම්ප්‍රදායික දෙමළ ජනයාගේ සූර්යය දින දර්ශනයේ මුල්ම මාසය අප්‍රියෙල් මාසයයි. එබැවින් අනිකුත් දෙමළ උත්සවයන්ට වඩා ඔවුන් අලුත් අවුරුදු උදාව ඉහළින් සමරනු ලබයි.

වෙනත් සැමරුම් විධි

අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ ශබ්ද භාවිත කරන අතර, බොහෝවිට නැකැත් ඇරඹෙන බව කියාපෑමට රතිඤ්ඤා ආදී ගිනි කෙළි ද්‍රව්‍ය භාවිත කෙරේ.

මුල් යුගයේ රතිඤ්ඤා වෙනුවට ‘උණ වෙඩි’ භාවිත කෙරුණු බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

උණ වෙඩි යනු උණ බටයක් යොදාගෙන වෙඩි හඬක් පිට කිරීම සඳහා සකස් කරනු ලබන්නකි.

පසු කාලීනව, යුරෝපා ජාතීන්ගේ බලපෑමෙන් උණ වෙඩි වෙනුවට රතිඤ්ඤා භාවිතයට පැමිණ තිබේ.

මුල් යුගයේ රතිඤ්ඤා වෙනුවට 'උණ වෙඩි' භාවිත කෙරුණු බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
මුල් යුගයේ රතිඤ්ඤා වෙනුවට ‘උණ වෙඩි’ භාවිත කෙරුණු බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි

‘නොමළ සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස් වනවා’

මහාචාර්ය රාජ් සෝමදේව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අලුත් අවුරුද්ද සමග විදෙස් හෝ බාහිර අංග සම්මිශ්‍රණය වී තිබීම වැඩෙන සංස්කෘතියක දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයක් බව ය.

නොමළ සංස්කෘතියක් නම් එය බාහිර සංස්කෘතික අංග සමග මිශ්‍ර වී වර්ධනය විය යුතු බව ඔහු පැවසීය.

“යම් සංස්කෘතියක් වෙනස් නොවී, බාහිර අංග සමග මිශ්‍ර නොවී තියෙනවා නම් ඒ සංස්කෘතිය මළ සංස්කෘතියක් විදිහට යි හඳුන්වන්නේ. සජීවී සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්ද කියන සංස්කෘතිය ඇතුළට බාහිර අංග එකතු වෙලා තියෙනවා,” මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.

මේ අතර, මහාචාර්ය රත්නසිරි අරංගල ප්‍රකාශ කළේ, මෙවන් අදහසකි.

“සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියලා මේක හැඳින්වුවත්, මේක මම හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා. මේ සංස්කෘතිය ඇතුළේ බාහිර සංස්කෘති රැසක ලක්ෂණ සහ අංග සම්මිශ්‍රණය වෙලා තියෙනවා.”

මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අංජලී වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, අලුත් අවුරුද්ද ජන කොටස් කිහිපයකට වෙන් නොකර සාමූහික වශයෙන් සැමරිය යුතු සංස්කෘතික උත්සවයක් බව ය.

“සංස්කෘති රැසක සම්මිශ්‍රණයක් තියෙන මේ සංස්කෘතික උත්සවයේ අයිතිය ජන කොටස් කිහිපයකට නොබෙදා, සියලු ජන කොටස් එකතු කළ හැකි සංස්කෘතික සහයෝගීතාවක් විදිහට පවත්වාගෙන යාම තමයි සුදුසු ම දේ.”

BBC News