දරුවන් අන් කවරදාකටත් වඩා අඩු වයසින් ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වන බැවින් – ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකට ම වරක් එක් දරුවෙකු ඉන්ටර්නෙට් වෙත පිවිසෙයි – ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ, මෙම වැඩි වී ඇති ඉන්ටර්නෙට් ප්‍රවේශය ඔවුන් බරපතළ අවදානම්වලට නිරාවරණය කරන බව ය.
විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්, නාඳුනන පුද්ගලයින්ගේ නුසුදුසු හෝ අනවශ්‍ය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම 35%කින් අඩු බව බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ තරුණ සහ දරාගැනීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ සේව් ද චිල්ඩ්රන් රාජ්‍ය නොවන සංවිධානය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි විය. එවැනි පුද්ගලයින් පිළිබඳව පැමිණිලි නොකිරීමෙන් හෝ අවහිර නොකිරීමෙන් දරුවන් අනාගතයේදී අනවශ්‍ය සම්බන්ධතා ඇති කර ගැනීමේ වැඩි අවදානමකට ලක්වන බව අධ්‍යයනය සඳහන් කළේ ය.
එක්සත් රාජධානියේ, ඔන්ලයින් ආරක්ෂණ පනත නමැති නව නීතිය යටතේ, ඉන්ටර්නෙට් තුළ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තාක්ෂණික සමාගම්වලට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත. එහෙත්, නව නීති 2025 වසර වන තෙක් ක්‍රියාත්මක නොවන අතර විචාරකයින් පවසන්නේ, එම නීති ප්‍රමාණවත් නොවන බව ය.
ලෝකය පුරා බොහෝ රජයයන් ඊට සමාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.
එසේ නම්, ඔබේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ ද? එමෙන් ම, ඔවුන්ට වඩා ඉහළ ආරක්ෂාවක් සැපයීමට රජයයන් සහ සමාගම් ගෙන ඇති උත්සහයන් මොනවා ද?
ළමයින් ගෝලීය වශයෙන් කොපමණ කාලයක් ඉන්ටර්නෙට්හි ගත කරනවා ද?, එහි ඇති අවදානම කුමක් ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලොව පුරා සෑම තත්පර භාගයකට වරක් ම පළමු වරට දරුවෙකු ඉන්ටර්නෙට් වෙත පිවිසෙන අතර, ළමයින් අන් කවරදාටත් වඩා ඉන්ටර්නෙට් තුළ වැඩි කාලයක් ගත කරති.
දත්ත මගින් පෙන්නුම් කරන්නේ, ලෝක ජනගහනයෙන් ඉතිරි 65%කට සාපේක්ෂව, තරුණයින් ගෝලීය සම්බන්ධතාවේ ගාමක බලවේගය වන අතර, 2023 වසරේදී අවුරුදු 15 සිට 24 දක්වා පසුවන්නන්ගෙන් 79%ක් ඉන්ටර්නෙට් හරහා සබඳතා පවත්වාගෙන යන බව ය.
“ළමයින් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වන අතර ඔවුන්ගේ නිරන්තරයෙන් වෙනස් වන ඩිජිටල් පරිසරය තුළ ආරක්ෂිතව සැරිසැරීමට සහයක් අවශ්‍යයි,” සිඩ්නිහි තරුණ සහ දරාගැනීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂක ඇමන්ඩා තර්ඩ් පවසයි.
එක්සත් ජාතීන්ගේ ළමුන් සම්බන්ධ ඒජන්සිය වන යුනිසෙෆ් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, සයිබර් හිරිහැර කිරීම් රටවල් 30ක යෞවනයන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට බලපාන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෑම පස් දෙනෙකුගෙන් ම එක් අයෙක් පාසල් හැර යයි.
වෛරී ප්රකාශයන්ට නිරාවරණය වීම, ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ අන්තවාදී කණ්ඩායම් වෙත බඳවා ගැනීම් ද ඩිජිටල් වේදිකාවල දැකිය හැකි සාවද්‍ය තොරතුරු සහ කුමන්ත්‍රණ න්‍යායන් ද පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.
කෙසේ වෙතත්, “වඩාත් භයානක වන්නේ, ඉන්ටර්නෙට් හරහා ලිංගික සූරාකෑම සහ අපයෝජන සිදුවීමේ තර්ජනයයි,” එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසයි.
යුනිසෙෆ් ආයතනයට අනුව, “ළමා ලිංගික අපරාධකරුවන්ට ඔවුන්ගේ ගොදුරු සම්බන්ධ කර ගැනීම, රූප සටහන් බෙදා ගැනීම සහ වැරදි කිරීමට අන් අයව දිරිමත් කිරීම කිසි විටෙක පහසු කටයුත්තක් වුණේ නැහැ. ඒත් දැන්, රටවල් 25ක ළමුන්ගෙන් 80%ක් පමණ ඉන්ටර්නෙට් හරහා ලිංගික අපයෝජනයට හෝ සූරාකෑමට ලක්වීමේ අවදානමක් ඇති බවට වාර්තා ලැබෙනවා.”
භාවිත කළ හැකි මාර්ගගත මාපිය පාලන ක්‍රම මොනවා ද?
මානසික වශයෙන් අයහපත් බලපෑම් ඇති කරන හෝ නුසුදුසු අන්තර්ගතයන් අවහිර කිරීමට සහ මග හැරීමට (filter) නිර්මාණය කර ඇති දෙමාපියන්ට භාවිත කළ හැකි පාලන ක්‍රම පැවතිය ද, ඒවා දෙමාපියන් බහුලව භාවිත නොකරන බව අධ්‍යයනවලින් පෙනී යයි.
2019 වසරේ සිට පැවති Global Kids Online සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ, වයස අවුරුදු 9 සිට 17 දක්වා ළමුන්ගේ දෙමාපියන් තාක්ෂණික මෙවලම්වලට වඩා, මැදිහත්වීම් හරහා කරුණු පහදා දීම (mediation) සහ රීති මත පදනම් වූ සීමා කිරීම් වැනි උපාය මාර්ගවලට කැමැත්තක් දක්වන බව ය.
එම අධ්‍යයනයට අනුව, ඊට සංස්කෘතික වෙනස්කම් බලපාන අතර, ධනවත් යුරෝපීය සහ දකුණු අමෙරිකානු රටවල දෙමාපියන් කරුණු පහදා දී දරුවන් මුදා ගැනීමට කැමැත්තක් දක්වන අතර ඝානාව, පිලිපීනය සහ දකුණු අප්‍රිකාවේ වෙසෙන්නෝ සීමාකාරී මැදිහත්වීම්වලට කැමැත්තක් දක්වති.
කෙසේ වෙතත්, ළමා දුරකතන හෝ වෙනත් උපාංගවල දෙමාපිය පාලන ක්‍රම භාවිතය අඩු මට්ටමක පවතින අතර, සමීක්ෂණයට ලක් කළ රටවල දෙමාපියන්ගෙන් එවා භාවිත කරන්නේ, 3%කට වඩා අඩු ප්රතිශතයකි.
එක්සත් රාජධානිය පදනම් කර ගත් දැවැන්ත ඉන්ටර්නෙට් සමාගම් කිහිපයක් විසින් පිහිටුවන ලද ආරක්ෂිත සංවිධානයක් වන Internet Matters ආයතනය සතුව, භාවිතය සඳහා ලබා ගත හැකි දෙමාපිය පාලන මෙවලම් ලැයිස්තුවක් සහ ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ පියවරෙන් පියවර මාර්ගෝපදේශ තිබේ.
උදාහරණයක් වශයෙන්, ලෝකයේ තරුණ තරුණියන් සඳහා වඩාත් ජනප්‍රිය වේදිකාවක් වන YouTube සහ TikTokහි තම දරුවන්ට නුසුදුසු තොරතුරු දැකීමේ සම්භාවිතාව අඩු කිරීමට අවශ්‍ය වැඩිහිටි අන්තර්ගතයන් මග හැරිය හැකි “ළමා” යෙදුම් දෙමාපියන්ට සැකසිය හැකි ය.
ප්‍රධාන වෙබ් අඩවිය භාවිත කරන වැඩිහිටි දරුවන් සඳහා, දෙමාපියන් විසින් අධීක්ෂණය කරනු ලබන ගිණුම් සකස් කළ හැකි අතර, එමගින් ඔවුන්ගේ දරුවන් පිවිසෙන වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසෙයි.
ෆේස්බුක් මෙසෙන්ජර් යෙදුම ද එහි ඇති Family Centre විශේෂාංගය හරහා අධීක්ෂණය කළ හැකි ය.
TikTok පවසන්නේ, පවුලේ සාමාජිකයින් සම්බන්ධ කිරීමේ මෙවලම හරහා නව යොවුන් වියේ පසුවන්නන්ගේ ගිණුම් පෞද්ගලික කළ යුතු ද යන්න තීරණය කිරීමට දෙමාපියන්ට ඉඩ සැලසෙන බව ය.
Instagramහි දෙමාපිය පාලන විශේෂාංගවලට දෛනිකව භාවිත කරන කාලය සීමා කිරීම, සැලසුම් කරන ලද විවේක වේලාවන් ඇතුළත් වන අතර ඔවුන්ගේ දරුවන් පිවිස ඇති ගිණුම් ද ලැයිස්තුගත කළ හැක.
ජංගම දුරකතන සහ පරිගණකවල ඇති පාලන මෙවලම් මොනවා ද?
ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකතනවල සහ ටැබ් පරිගණකවල දෙමාපියන්ට භාවිත කළ හැකි මෙවලම් සහ ක්‍රම තිබේ.
මෙම මෙවලම්වලට, නිශ්චිත යෙදුම් වෙත ප්‍රවේශ වීම අවහිර කිරීමට හෝ සීමා කිරීමට, තෝරාගත් අන්තර්ගතයන් සීමා කිරීමට, මිල දී ගැනීම් වැළැක්වීමට සහ බ්‍රවුස් කිරීම නිරීක්ෂණය කිරීමට හැකි ය. ඇපල් සමාගම Screen Time විශේෂාංගය සහ ගූගල් සමාගම Family Link විශේෂාංගය ලබා දෙන අතර, තුන් වන පාර්ශවීය මෘදුකාංග නිෂ්පාදකයින් සතුව ද ඒ හා සමාන මෙවලම් තිබේ.
Netflix වැනි වෙබ් අඩවිවල අන්තර්ගතය ෆිල්ටර් කිරීමට දෙමාපිය පාලන මෙවලම් සපයන අතර, පරිගණක ක්‍රීඩා පාලක පුවරු සැකසීම් හරහා දෙමාපියන්ට වයසට ගැළපෙන ක්‍රීඩා පමණක් සහතික කිරීමට සහ පරිගණක ක්‍රීඩා තුළ මිල දී ගැනීම් කළමනාකරණය කිරීමට හැකියාව ලබා දෙයි. මෙවැනි සීමා කිරීම්, රටවල් අනුව බ්‍රෝඩ්බෑන්ඩ් සහ රූපවාහිනී ග්රාහකත්ව සේවාවන්හි ද පවතී.
ඉන්ටර්නෙට් ආරක්ෂාව ගැන ඔබ ඔබේ දරුවන්ට කතා කළ යුත්තේ කෙසේ ද?
එක්සත් රාජධානිය පදනම් කර ගත් ළමුන් වෙනුවෙන් පිහිටවූ පුණ්‍යායතනයක් වන NSPCC ආයතනයට අනුව, ඉන්ටර්නෙට් ආරක්ෂාව ගැන දරුවන් සමග කතා කිරීම සහ ඔවුන් ඉන්ටර්නෙට් භාවිතයෙන් කරන දේ ගැන උනන්දු වීම ද වැදගත් වේ.
“නරක ම දේ තමයි, ‘ඔබට මේක බලන්න බැහැ’ කියලා තරුණ දරුවන්ට කියන එක,” සරේ විශ්වවිද්‍යාලයේ පරිගණක ආරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් බීබීසීයට පැවසීය.
“එසේ කළොත් ඔවුන් VPN (virtual private networks) භාවිත කිරීමෙන් හරි, අනවශ්‍ය දේ වෙත පිවිසෙන්න මාර්ග හොයා ගනීවි. එහෙම නැත්නම්, වෙනත් කෙනෙකුගේ විස්තරවලින් ඔවුන්ට පිවිසීමට හැකි තැන්වලට පිවිසේවි.”
ලොව පුරා ආණ්ඩු, කරමින් සිටින්නේ මොනවා ද?
මෑත වසරවලදී, ලොව පුරා සිටින නියාමකයින් ඉන්ටර්නෙට් හරහා බාලවයස්කරුවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගත් රහස්‍යතා නීති බලාත්මක කිරීම තීව්ර කර ඇති අතර නීති සම්පාදකයෝ ද ක්‍රියාකාරීව සිටිති.
කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් “බාල වයස්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වැඩි ඔන්ලයින් පෞද්ගලිකත්ව සහ ආරක්ෂණ නීති අවශ්‍ය බවට එකඟ වන අතර, අධිකරණ ආයතන මෙම හවුල් අරමුණ සඳහා විවිධ ප්රවේශයන්ට පිවිසෙමින් සිටිනවා,” රහස්‍යතා වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර සංගමය (IAPP) පවසයි.
උදාහරණයක් වශයෙන්, එක්සත් රාජධානියේ හෝ කැලිෆෝනියාවේ, බාලවයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සක්‍රීයව රැකෙන ආකාරයෙන් ඔවුන්ගේ සේවා සැලසුම් කිරීම සමාගම්වල වගකීමකි.
“අපත් සමග සම්බන්ධ වන්න, සූදානම් වන්න,” බ්‍රිතාන්‍ය තාක්ෂණ ලේකම් මිෂෙල් ඩොනලන් මහා පරිමාණ තාක්ෂණ සමාගම්වලින් ඉල්ලීමක් කළේ ය.
“නීතිය ක්‍රියාත්මක කරන තුරු සහ අධික දඩ මුදල් නියම කරන තුරු බලා සිටින්න එපා. ඔබගේ වගකීම් ඉටු කිරීමට සහ දැන් ම ක්‍රියාත්මක වීමට පියවර ගන්න.”
ඇමෙරිකාවේ ඇතැම් නීති තම දරුවාගේ ඉන්ටර්නෙට් ප්රවේශයේ දොරටු පාලකයන් ලෙස දෙමාපියන්ගේ කාර්යභාරය අවධාරණය කරයි.
1998 වසරේදී ඇමෙරිකා ළමුන්ගේ ඔන්ලයින් රහස්‍යතා ආරක්ෂණ පනත මගින් ආවරණය කරන ලද ඔන්ලයින් සේවා සපයන්නන්ට දෙමාපියන්ගේ අවසරයකින් තොරව බාලවයස්කරුවන්ගේ තොරතුරු භාවිත කිරීම තහනම් කෙරේ.
ආකන්සාස්, ලුසියානා, ටෙක්සාස් සහ උටා යන ප්‍රාන්තවල මෑත කාලීනව බලාත්මක කරන ලද නීති මගින් සමාජ මාධ්‍ය සේවාවන්ට, දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව බාලවයස්කරුවන්ට අදාළ සමාජ මාධ්‍ය සේවාවන්හි විශේෂාංග භාවිත කිරීමට ඉඩ දීම තහනම් කර තිබේ.
2020 වසරේදී, බ්‍රසීලය පෞද්ගලික දත්ත රැස් කිරීම සම්බන්ධයෙන් නීතියක් සම්මත කළ ද, නීති සම්පාදකයෝ තවමත් ලිංගික අපයෝජන දැනුම්දීම් පද්ධති ස්ථාපනය කිරීම වැනි, ඩිජිටල් පරිසරයන් තුළ ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති.
2022 වසරේදී ප්‍රංශය, ඉන්ටර්නෙට් සම්බන්ධ මෙවලම් සදහා දෙමාපිය පාලන ක්‍රමවේදයන් අනිවාර්ය කළේ ය.
2023 අගෝස්තු මාසයේදී, දරුවන්ගේ පෞද්ගලික දත්ත රැස් කිරීම සඳහා සත්‍යාපනය කළ හැකි දෙමාපිය කැමැත්ත අවශ්‍ය වන සහ ඔවුන් වෙත එල්ල කරන ලද ඉලක්කගත ප්‍රචාරණ තහනම් කරන මතභේදාත්මක දත්ත රහස්‍යතා පනත් කෙටුම්පතක් ඉන්දියාව විසින් අනුමත කරන ලදී.
තාක්ෂණික සමාගම් ගැටලුවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?
පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පමණක් නොව ඔන්ලයින් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද තාක්ෂණ දැවැන්තයෝ ලොව පුරා සිදුවන විරෝධතාවන්ට මුහුණ දෙමින් සිටිති.
තාක්ෂණික සමාගම් වගකීම භාර ගැනීම හෝ ළමුන් සහ තරුණ පරිශීලකයින් සඳහා “සැලසුම් අනුව ආරක්ෂිත” වේදිකා නිර්මාණය කළ යුතු බවට ගෝලීය වශයෙන් දෙමාපියෝ සහ ක්රියාකාරිකයෝ බලපෑම් කරමින් සිටිති.
පසුගිය ජනවාරි අගදී, ඇමෙරිකානු කොන්ග්‍රසයේ නඩු විභාගයකදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, ඉන්ටර්නෙට් හරහා විලෝපිකයින්ට ගොදුරු වූ දෙමාපියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ ය.
දැවැන්ත තාක්ෂණ සමාගම් සහ ඔන්ලයින් ළමා ලිංගික සූරාකෑමේ අර්බුදයට අදාළ නඩු විභාගය, “ඉන්ටර්නෙට් ළමා ලිංගික සූරාකෑම් පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම” ලෙස නම් කරන ලදී.
මාර්ක් සකර්බර්ග් සහ ටික්ටොක් ප්‍රධානය විධායක ෂෝ චිව් කෙරෙහි වැඩි ම අවධානයක් යොමු වුව ද, මෙටා, ස්නැප්, ඩිස්කෝර්ඩ්, එක්ස් සහ ටික්ටොක් යන සෑම සමාගමක ම විධායක නිලධාරීන් නඩු විභාගයට කැඳවීය.
“ඔබ හැම දෙනා ම මුහුණ දුන් හැම දෙයක් ගැන ම මම කනගාටු වෙනවා,” සකර්බර්ග් පැවසීය. “වෙනත් කිසිවෙකු ඔබේ පවුලේ සාමාජිකයින් විඳි දුක අත්විඳිය යුතු නැහැ.”
මෙම නඩු විභාගය පැවැත්වුණේ, ඉන්ස්ටග්‍රෑම් යෞවනයන් ලිංගික හිරිහැරවලින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට තමන් විශ්වාස කරන බව මෙටා සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොංග්‍රසයට පැවසීමෙන් පසුව ය.
Meta සහ Snapchat සමාගම් පැවසුවේ, ඔවුන් දැනටමත් වයස අවුරුදු 18ට අඩු අය සඳහා අමතර ආරක්ෂාවක් පවතින බවත්, ඔවුන් සතු දෙමාපිය පාලන මෙවලම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවා ඇති බවත් ය.
“තරුණයන් අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් විදිහට, ආරක්ෂිත සහ ධනාත්මක අත්දැකීමක් නිර්මාණය කිරීමට අපට අමතර වගකීමක් ඇති බව අපි දන්නවා,” Snapchat නියෝජිතයෙක් පැවසීය.
මෙටා නියෝජිතයෙකු පැවසුවේ, තරුණයින්ට “තමන්ට ආරක්ෂිත යැයි හැඟෙන පරිසරයක අන් අය සමග සම්බන්ධ වීමට” ඉඩකඩ සැලසීම සිය සමාගමට අවශ්‍ය බව ය.
“ප්රචණ්ඩත්වය අවුළුවන, සියදිවි නසාගැනීම් දිරිගන්වන, ස්වයං-තුවාල හෝ ආහාර ගැනීමේ අක්රමිකතාවලට හේතු වන අන්තර්ගතයන් අපගේ නීති උල්ලංඝණය කරනවා. එවැනි අන්තර්ගතයන් සොයාගත් විට අපි ඒවා ඉවත් කරනවා,” ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, බීබීසී පුවත් සේවය ඇතුළු නිරීක්ෂකයින් සහ මාධ්‍ය සංවිධාන කිහිපයක් වාර්තා කර ඇත්තේ, බහුවිධ සම්බන්ධතා ඇති කර ගෙන තිබියදීත්, සමාගම් දැනුවත් කිරීමෙන් පසුව පවා, නුසුදුසු හෝ අපයෝජනාත්මක අන්තර්ගතයන් නිරන්තරයෙන් ඉවත් නොකරන බව ය.