ඉකුත් මැයි 5 වැනිදා ජාතික රූපවාහිනියේ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශය ආරම්භ විය. ප්‍රවීණ සන්නිවේදකයන් වන චමින්ද ගුණරත්න සහ නිශාදි බණ්ඩාරනායක ප්‍රවෘත්ති මැදිරියට පැමිණ සුපුරුදු විලාසයෙන් දවසේ ප්‍රවෘත්ති විකාශය ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන ආහ.එහෙත් පසු දිනට පහන් වීමටත් මත්තෙන් වෙබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගත්තේ අමුතු ආකාරයේ පුවතකි.
“ඊයේ ජාතික රූපවාහිනියෙ නිවුස් කියලා තියෙන්නේ ඒ.අයි (A.I) තාක්ෂණයෙන්.”
“මොකක්ද ඒ? එහෙම කොහොමද වෙන්නෙ?”
“ඒකනේ, නිවුස් කියපු නිවේදකයයි, නිවේදිකාවයි පේන්න හිටියනෙ. මුකුත් වෙනසක් අපි දැක්කෙ නෑනේ.”
“ඒක ඇත්ත. ඒත් එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක කරල තියෙන්නෙ ඒ.අයි තාක්ෂණය (Artificial Intelligence) එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන්.”
බොහෝදෙනකුගේ මුවින් නික්මුණේ එවැනි කතාබහක්ය. ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය කලාවේ නවතම පෙරළියක් සිදු කරමින්; ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජාතික රූපවාහිනිය විසින් A.I තාක්ෂණයේ නවතම අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළේය. A.I තාක්ෂණය යනු මිනිසාගේ කටයුතු පහසු කර ගැනීම සඳහා වර්තමානයේ ලෝකය පුරා භාවිත කරන අති නවීනතම සහ ප්‍රමුඛතම තාක්ෂණික මෙහෙයුමක් ලෙස පිළිගැනෙන අතර, මේ වන විට මිනිස් පරිණාමයේ සිව්වැනි යුගය ලෙස සනිටුහන් වන්නේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කළ සොයා ගැනීම්ය.
ජාතික රූපවාහිනිය විසින් සිදු කළ මේ නවතම තාක්ෂණ විප්ලවය පිළිබඳ මේ වන විටත් ඉතා උණුසුම් සහ ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් තිබේ. ශ්‍රීලංකා රූපවාහිනි සංස්ථාවේ වත්මන් නියමුවා වන එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහගේ මඟ පෙන්වීම යටතේ සිදුවූ මෙම කාර්යය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට අපි එම ප්‍රවෘත්ති විකාශය නිෂ්පාදනය කළ ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල හමුවුනෙමු. ජාතික රූපවාහිනිය සිය ප්‍රවීණතම සන්නිවේදකයන් දෙදෙනකුට සමාන A.I තාක්ෂණයෙන් නිර්මාණය කළ ප්‍රවෘත්ති සන්නිවේදකයන් දෙදෙනකු ප්‍රවෘත්ති විකාශය සඳහා යොදාගැනීමේ කාර්යය ගැන බොහෝ දෙනා තුළ ඇති කුතුහලයට පිළිතුරු ඇත්තේ ඔහු ළඟය.
“කොහොමද එහෙම වුණේ? නිවේදකයටයි නිවේදිකාවටයි සමාන ඩමි(අනුරූප) දෙකක්ද ඒ නිවුස් කිව්වෙ?” බොහෝදෙනා විමසූ ඒ පැනයට පිළිතුර අපි ගාමිණි බණ්ඩාර මැණික්දිවෙලගෙන් විමසුවෙමු.
“කිසිම ඩමියක් අපි මේ සඳහා යොදාගත්තෙ නැහැ. එය සිදු කළේ සම්පූර්ණයෙන්ම සංස්කරණ ක්‍රියාවලියක් තුළින්. මෙය විශේෂ වන්නේ අපි ඒ A.I තාක්ෂණය පාවිච්චි කිරීම හෝ පළමු වතාවට ලංකාවේ ප්‍රවෘත්ති විකාශය කිරීමටත් වඩා A.I තාක්ෂණය තුළ සිංහල භාෂාව භාවිත කිරීම නිසයි. A.I තාක්ෂණය භාවිත කරන රටවල් ලැයිස්තුවේවත් අපේ රටේ නම නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ දක්වා වෙනත් නාළිකා මෙම අභියෝගය භාර නොගත්තෙ සජීවි විකාශයේදී යම් වරදක් සිදුවුණොත් එය ප්‍රේක්ෂකයාට පෙනෙන නිසයි. නමුත් අපිට විශ්වාසයක් තිබුණා අපට මේ දේ කළ හැකියි කියා.”
ඔහුගේ විශ්වාසය එතරම් සවිමත් වන්නේ එය ජාතික රූපවාහිනිය A.I තාක්ෂණය සම්බන්ධයෙන් කළ පළමු අත්හදා බැලීම නොවන නිසාය. ඒ ගැන මැණික්දිවෙල පැහැදිලි කළේ මෙලෙසිනි.
“පළමුවෙන්ම අපි කළේ A.I යෙදුම සහිත වැඩසටහනක්. එය ලංකාවේ පළමු වැනි A.I තාක්ෂණය සහිත වැඩසටහනක්. එයට අපි වීඩියෝ ජෙනරේෂන් කියන තාක්ෂණය භාවිත කළා.ඉන්පසු අපි ලංකාවේ ප්‍රවෘත්ති විකාශයක් තුළ A.I තාක්ෂණය පාවිච්චි කළ පළමු අවස්ථාව විදිහට අවුරුදු නැකත් ඉදිරිපත් කළා. ඒ නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන්න අපි වීඩියෝ සහ ඉමේජ් කියන ජෙනරේශන් දෙකම පාවිච්චි කළා. එයට ඕඩියෝ ජෙනරේශන් එකත් ඇතුළත් වුණා. අවුරුදු නැකැත් කියන්නේ අපේ රටේ සංස්කෘතිය සමඟ දැඩිව බද්ධ වූ දෙයක්. එවැනි දෙයක් ඉදිරිපත් කිරීමේදී වරදක් වුණොත් ගැටලුවක් වුණත්; අපි ඒ අභියෝගයත් ජයගත්තා. ඉකුත් 5 වැනිදා අපි කළේ ප්‍රවෘත්ති විකාශයක ප්‍රධාන සන්නිවේදකයන් දෙදෙනාට සමාන දෙදෙනකු නිර්මාණය කරලා ඔවුන් මඟින් ප්‍රවෘත්ති විකාශය කිරීමයි. එය ලංකාවේ සිදුවූ පළමු අවස්ථාව වගේම මම කළ සොයා බැලීම් අනුව ලෝකයේ මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාවත් වනවා.
ලෝකයේ අනිත් රටවල A.I තාක්ෂණයෙන් ප්‍රවෘත්ති කිව්වත් මෙවැනි ප්‍රධාන සන්නිවේදකයන් නිර්මාණය කර නැහැ. අපේ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශය විනාඩි 20ක්. එයින් විනාඩි 15ක්ම A.I සන්නිවේදකයන් දෙදෙනා ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. මෙහිදී වැදගත්ම දේ අපි A.I තාක්ෂණයට සිංහල භාෂාව භාවිත කිරීම සහ පළමු වතාවට ප්‍රධාන සන්නිවේදකයන් දෙදෙනෙකුගේ කැමැත්ත මත අපි ඔවුන්ගේ A.I සන්නිවේදකයන් දෙදෙනෙක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අපි ඉමේජ් A.I ජෙනරේශන්, වීඩියෝ A.I ජෙනරේශන්, ඕඩියෝ A.I ජෙනරේෂන් සහ ෆැමිලි ඩී.එන්. ඒ කියන තාක්ෂණය භාවිත කළා. ඒවා සියල්ලම A. I ටුල්ස්. A.I තාක්ෂණය කියන්නේ මහ සාගරයක් වගේ පුළුල් විෂයයක්. ඒ විෂයය චැට් ජී. ටී. පී ලෙස හඳුන්වනවා. එය A.I තාක්ෂණයේ ඉතාම කුඩා කොටසක්. අපේ රටට මෙය ජයග්‍රහණයක් වන්නේ A.I ටූල් ඇතුළේ සිංහල භාෂාව නැති නිසා සිංහල භාෂාව පාවිච්චි කරමින් A.Iකෙනෙක් නිර්මාණය කිරීම අභියෝගයක් නිසයි.”
ගාමිණි මැණික්දිවෙල වැඩිදුරටත් පවසන්නේ ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම මෙතරම් පහසු වූයේත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් වූයේත් එම තාක්ෂණය පිළිබඳ දන්නා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි විද්වතකු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියමුවා ලෙස කටයුතු කිරීම නිසා බවය. ඒ සඳහා පසුබිම සකස් වූ ආකාරය ගැන මැණික්දිවෙල මෙසේ කීවේය.
“2022 සැප්තැම්බර් 22 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර පැවති දකුණු ආසියානු ව්‍යාපාරික සම්මාන උලෙළේදී දකුණු ආසියාවේ හොඳම උපාය මාර්ගික පුවතට හිමි සම්මානය සහ දකුණු ආසියාවේ හොඳම ගවේෂණාත්මක පුවතට හිමි සම්මානය මට හිමිවුණා. ජාත්‍යන්තර සම්මාන උලෙළකදී එකම පුද්ගලයකුට සම්මාන දෙකක් හිමිවූ දැනට සිටින එකම ලාංකිකයා මම බව බොහොම නිහතමානිවයි කියනවා. එම සම්මාන උලෙළ කිට්ටුව පැවති එමිනස් සම්මාන උලෙළටත් ඔවුන් මා පිළිබඳ නිර්දේශ කර තිබුණා. ඔවුන්ම තමයි මට ඇප්ලිකේෂන් එක එව්වෙත්. ඒ අනුව 2023 පෙබරවාරි 12 වැනිදා ඩුබායිවල පැවති රටවල් 56ක් සහභාගි වූ එමිනස් සම්මාන උලෙළේදි නව ආර්ථික උපාය මාර්ග හඳුන්වාදීම වෙනුවෙන් ජාතන්තර තලයේ විශිෂ්ටතම මාධ්‍යෙව්දියාට හිමි සම්මානය මට ලැබුණා. ඒ සම්මානය ලැබුණට පසු මට ලැබුණු වරප්‍රසාද අතරින් ඩුබායිවලට ශිෂ්‍යත්වක් ලැබුණා. එයින් ලබාගත් දැනුම් සම්භාරයෙන් ඉතා කුඩා කොටසකින් තමයි මට A.I තාක්ෂණය ඇසුරින් පළමු වැඩසටහන කළේ.”
A.I තාක්ෂණය ඇසුරින් තමා කළ පළමු වැඩසටහනට ලැබුණු ධනාත්මක ප්‍රතිචාරය ගැන මැණික්දිවෙල අදත් සිහි කරන්නේ සතුටිනි.
“ඒ පළමු වැඩසටහන විකාශනය වෙද්දි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා හිටියේ විදෙස්ගත වෙලා. එතුමා මට කෝල් කරලා ඇහුවා ඔයා මේ A.I නේද කළේ” කියලා. මෘදුකාංග සම්බන්ධ ආචාර්යවරයකු වන එතුමාට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම සහ උනන්දුව තමයි; මට මේ තාක්ෂණය බය නැතිව භාවිත කරන්න මූලිකම හේතුව වුණේ. ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ මහතා මට උපරිම සහයෝගය සහ ධෛර්යය දුන්නා.
මැණික්දිවෙල නමැති දිරිමත් තරුණයාට මෙන්ම මෙම අලුත්ම තාක්ෂණික පිම්ම තුළින් මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයේ නිම්වළලු පුළුල් කිරීමට ඔහුට මංපෙත් විවර කළ ඔහුගේ ප්‍රධානීන් දෙදෙනාට අප කෘතඥ විය යුතුය. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහගෙන් අප මේ පිළිබඳ කරුණු විමසුවෙමු.
“මීට මාස කිහිපයකට පෙර සභාපතිතුමා මේ සංකල්පය ඉදිරිපත් කළත් A.I තාක්ෂණයට අදාළ සිංහල මෘදුකාංගය තිබුණේ නැති නිසා අපට ඒ දේ කරන්න බැරි වුණා. ඒ අතරේ තමයි අපේ නිෂ්පාදක මැණික්දිවෙල ඩුබායි පාඨමාලාවකට ගිය වෙලාවේ; මේ ගැන වැඩිදුර ඉගෙනගෙන තිබුණේ. ඒ අනුව ඔහු පළමුව කළ වැඩසටහන විවිධ ඇගැයීම්වලට ලක්වුණාට පසුව මේ ගැන බොහෝදෙනකු උනන්දු වීම අපට හොඳ උත්තේජනයක් වුණා. ඒ අනුව දෙවැනි වතාවට අවුරුදු නැකැත් සීට්ටුව A.I තාක්ෂණයෙන් ඉදිරිපත් කළාට පසු සභාපතිතුමා මට ඉලක්කයක් දුන්නා. සති දෙකක් තුළ එහි ඊළඟ පියවරට යන ලෙස. ඒ අනුවයි පළමු වතාවට අපි අපේ ප්‍රධාන සන්නිවේදකයන් දෙදෙනාට සමාන A.I සන්නිවේදකයන් දෙදෙනකු යොදාගෙන ප්‍රවෘත්ති විකාශය සිදු කිරීමට තීරණය කළේ. මැණික්දිවෙල ඒ සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළා. එදා අපි ප්‍රවෘත්ති විකාශයේ කිසිම තැනකදි කිව්වෙ නැහැ A.I සන්නිවේදකයන් භාවිත කරන බව. අඩුමතරමේ ස්ටූඩියෝ එකේ අයවත් දන්නෙ නැහැ.
රාජ්‍ය මාධ්‍ය කිව්වම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අපි ඉන්නෙ පුද්ගලික මාධ්‍යවලට වඩා ගොඩක් පිටුපසින් කියලා.නමුත් මේ ප්‍රවෘත්ති විකාශයට ලැබුණු අසීමිත ප්‍රතිචාරවලින් අපට වැටහුණා විශාල පිරිසකගෙ අවධානය අපේ නාළිකාවට තියෙනව කියල. ඒ වගේම යාවත්කාලීන වීම, කැපවීම සහ අධිෂ්ඨානය තියෙනවා නම් රාජ්‍ය මාධ්‍ය විදියට අපිට ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් බව. මෙය අවසානය නොවේ, ආරම්භයක් පමණයි. ඉදිරියේදී සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශයම A.I මාර්ගයෙන් කිරීම ඇතුළු නව සැලසුම් කිහිපයක්ම අප සතුව තිබෙනවා.”
ඔහු පවසන්නේ සුබවාදී අපේක්ෂා ඇතිවය. ජාතික රූපවාහිනියේ යූටියුබ් නාළිකාව පසුගිය මාසයේදී පමණක් නැරඹුම් වාර ලක්ෂ 70 ඉක්මවා තිබූ අතර සෑම මාසයකදීම ලක්ෂ 50 ඉක්මවා තිබීම ඊට එක් නිදසුනක් පමණි.
ජාතික රූපවාහිනයේ A.I සන්නිවේදන විප්ලවය තුළ මෙරට පළමු A.I සන්නිවේදකයන් නිර්මාණය කිරීමට දායක වූ සන්නිවේදකයන් දෙපළගෙන් ප්‍රවීණ සන්නිවේදක චමින්ද ගුණරත්න ඒ අත්දැකීම පිළිබඳ මෙසේ පැවසුවේය.
ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. අඩුමගානේ අපිත් එක්ක මැදිරියේ හිටපු කෙනෙකුටත් වෙනසක් දැනුණෙ නැහැ. A.I සන්නිවේදකයන් යොදාගෙන ප්‍රවෘත්ති විකාශනය වන අතරේ ලැබුණු කෙටි විරාමයකදි මම මගේ සහ A.I සන්නිවේදකයාගේ සෙල්ෆි එකක් ගත්තා. ඒක දුර්ලභ අවස්ථාවක් නිසා මතක සටහනක් විදිහටයි මම ඒක ගත්තෙ. මොනිට්ස්‍ර් එකෙන් අපි දිහා බලාගෙන හිටපු කාර්මික ශිල්පියෙක් වැඩ ඉවර වුණාට පස්සේ මට කිව්වා “නිවුස් එක යන අතරෙ ෆොටෝ ගන්න එපා. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා. එතකොට තමයි එයාට කිව්වෙ අද මෙහෙම දෙයක් වුණා කියල. එදා වැඩේ ගැන මම දාපු ෆේස්බුක් පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහරු ඇහුවා මෙයින් ප්‍රවෘත්තිවල විශ්වාසනීයත්වයට සහ සන්නිවේදකයාගෙ ප්‍රතිරූපයට හානි වෙයිද කියලා. එක්කම මට දැනුණු තවත් දෙයක්, අපේ රටේ ඇතැම් අය මේ තාක්ෂණය වගේ අලුත් දේවල් පිළිගන්න මැළිකමක් දක්වන බව.
එදා ප්‍රවෘත්ති විකාශය 24 වසරක් ඉක්මවූ මගේ මාධ්‍ය ජීවිතය තුළ සතුට, බය සහ දුක දැනුණු දවසක්. ලංකාවේ පළමු A.I තාක්ෂණය භාවිත කළ ප්‍රවෘත්ති නිවේදකයා බවට පත්වන්නට ලැබීම සතුටක්. මට මාවම තවත් මුහුණුවරකින් දකික්න ලැබීම වගේම මම සජිවි පුවත් ඉදිරිපත් කරනවා මටම දකින්න ලැබීම ආදී සියල්ලම මට සතුටක්. දුකට හේතුව මට මාව නැතිවුනාද කියලා හිතුනා.. තාක්ෂණය විසින් චමින්ද ගුණරත්න අත්පත් කර ගත්තාද කියා සිතීම නිසයි. බයට හේතුව මේ තාක්ෂණය අපි හැමෝගෙම ජීවිතවලට තර්ජනයක් වෙයිද කියල හිතුනු නිසයි..මේ සියලු හැඟීම් එක්ක ගෙදරව් ගියාම මගේ දුව මගෙන් අහනවා අප්පච්චි ආයේ ඔෆිස් යන්නෙ නැතුව ගෙදර ඉඳන් ප්‍රවෘත්ති කිය්න්න පුළුවන් නේද කියලා.”
ඔහු සමඟ එදින ප්‍රවෘත්ති නිවේදනයේ යෙදුණු නිවේදිකා නිශාදි බණ්ඩාරනායක ද පැවසුවේ එම අත්දැකීමෙන් ඇය මවිතයටත් සතුටටත් පත් වූ බවය.
“මම කවදාවත් හිතුවෙ නෑ මම වගේ තව කෙනෙක් එයි කියලා.ඒත් එයා ආවම ටික වෙලාවක් යනකම් මම ශොක්වෙලා හිටියෙ. ලංකාවේ පළමු A.I පුවත් නිවේදකයා සහ නිවේදිකාව ජාතික රූපවහිනියෙන් බිහිකරන්න ලැබීම ගැන සතුටුයි.”
A.I තාක්ෂණය නිසා අනාගතයේ රැකියා අහිමි වීමේ අවදානමක් ඇතිවිය හැකි බවටද ඇතැම්හු බිය පළ කරති. එසේ වුවද මේ පිළිබඳ සුබවාදී ප්‍රතිචාර දක්වන්නන් ද බොහෝය. ඒ ගැන ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මෙසේ කීවේය.
“සරලව කියනවා නම් A.I තාක්ෂණය අපේ මහපොළොවේ යථාර්ථයක් වන තුරු මේ තාක්ෂණයට බිය විය යුතු නැහැ,” එවදන් තුළ ඔහු අපට නුවණින් විමසන්නට බොහෝ කරුණු ඉතිරි කළේය. එහෙත් ඔහු මේ ගැන සිතන්නේ බොහෝ පිරිපුන් මනසිනි.
“අපේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව පේරදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් රූපවාහිනී A.I වැඩසටහන් නමින් වෙනම ගෘෘප් එකක් පටන් ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල A.I. සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන අය එකතැනකට ගෙන ඒම සඳහා සමස්ත ලංකා විශ්වවිද්‍යාලයීය A.I පර්යේෂණවේදින්ගේ සංගමය නමින් එකමුතුවක් හැදුවා.”
මේ භාරධුර කාර්යයට මඟ පෙන්වූ නියමුවා වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහගෙන් අප විමසුවේ මේ සම්බන්ධ ඉදිරි සැලසුම් මොනවාද යන්නයි.
“ජාතික රූපවාහිනිය මේ වෙද්දි A.I තාක්ෂණයේ අදියර 3ක් පළමුවරට ඉදිරිපත් කර තිබෙනවා. එය රජයේ මාධ්‍ය ලෙස ජයග්‍රහණයක් වුවත් තනි ගමනක් යනවාට වඩා මම කැමතියි; අනෙකුත් නාළිකාත් මේ ගමනට එකතු වෙනවා නම්. අභියෝග මැද වුවත් අපි එය සිදු කළා.එහිදී වැඩසටහන් නිෂ්පාදක මැණික්දිවෙල සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික විශාල කාර්යභාරයක් ඉටු කළා. ඔවුන්ගේ ශක්තිය සහ කැපවීම ගැන මට ඉතා සතුටුයි.”
විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරු රැසක්ම මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන්ගේ පොදු අදහස ලෝකයම A.I තාක්ෂණය ගැන කතා කරමින් සිටින පසුබිමක ජාතික රූපවාහිනිය එය යථාවත් කිරීම ගැන සතුටු වන බවයි. විශේෂයෙන් ප්‍රවෘත්තියක තිබිය යුතු විශ්වාසනීයත්වය සහ සජීවිකරණයට කිසිදු හානියක් නොවන අයුරින් කෘත්‍රිම බුද්ධිය යෙදවුම භාවිත කිරීම ඔවුන්ගේ පැසසුමයට හේතු වී තිබිණි.
ඇතැමුන් රජයේ මාධ්‍ය අවතක්සේරු කරන කාලවකවානුවක ජාතික රූපවාහිනියේ මේ නව පිම්ම පසක් කර දෙන්නේ අඳුරු වළා අකරින් පවා ඉඳහිට රිදී රේඛා මතුවන බවය. A.I තාක්ෂණය පිළිබඳ නව කථිකාවක් ගොඩ නැඟීමත් සමඟ ඒ වටා එක්රැස්වන පාසල් දරුවන් ඇතුළු තරුණ පරපුරට මෙම තාක්ෂණයේ නව මානයන් සොයා යෑම සඳහා ජාතික රූපවාහිනියේ වගවීම පිළිබඳ අපි සභාපතිවරයාගෙන් විමසුවෙමු.
“මේ තාක්ෂණය පිළිබඳ දැනුම නව පරපුරට ලබාදීම අපේ වගකීමක් ලෙස සලකනවා. ඒ නිසා A.I තාක්ෂණය පිළිබඳ දැනුම බෙදා දීම සඳහා ගුවන් කාලයක් වෙන්කිරීම පිළිබඳ මේ වන විටත් අපගේ අවධානය යෙමුවී තිබෙනවා. ඒ අනුව ඉතාම ඉක්මනින් එවැනි වැඩසටහන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
ඔහු පැවසූවේ ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාව දැනුම පදනම් කරගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අවශතාවද අවධාරණය කරමිනි. එවදන් මෙම නිර්මාණ වෑයමේ නිමැවුම්කරු ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල ද යළි යළිත් පසක් කළේය.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දැක්ම A.I තාක්ෂණයෙන් රට සන්නද්ධ කිරීමයි. තාක්ෂණ දැනුමින් පොහොසත් දරුවන් අපේ රටේ ඕනෑතරම් ඉන්නවා… ඔවුන්ට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීමක්, සහයෝගය ලබා දෙනවා නම් අපේ රටට ඩොලර් උපයන එක විශාල ප්‍රශ්නයක් නොවෙයි..” යැයි ඔහු අවධාරණය කළේය.
ජාතික රූපවාහිනියේ www.runews.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ AI සමාජය සඳහා ලියාපදිංචි වීමෙන් සහ AI පිළිබඳ වැඩිදුර දැනුම සොයා යෑමට දැන් ඔබටත් අවස්ථාව විවර වී ඇති බව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ සඳහන් කළේය.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න