අලුත් වාහන ලබන වසරෙත් නෑ

0
No New Vehicles Next Year - අලුත් වාහන ලබන වසරෙත් නෑ

වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන බව හෙතෙම සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි.

සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොතරම් සේවකයන් සිටිනවාදැයි කියනවා නම් සමහරුන්ට ඒවායේ ඉඳගැනීමට පුටු පවා නොමැති බව ප්‍රකාශ කළේය.

ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ධීවර ක්ෂේත්‍රයෙන් මෙන්ම පශු සම්පත්වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් විදේශයෙන් කිරිපිටි ආනයනය කිරීම නවත්වා ගැනීමට හැකිනම් එය ආර්ථිකයට ලොකු උදව්වක් බවත් මුදල් අමාත්‍යවරයා කීවේය.

ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකි වුවත් සාගතය කියන වචනයවත් කියන්නේ නැතුව රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

එසේම අමාත්‍යාංශවලට වසරේ අතරමැද කාලයේදී මුදල් ලබා ගැනීම සඳහා වැය ශීර්ෂ ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇති බවද කීවේය.

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුන මුදල අහිමි වූ බවත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදලද මේ වසරේදී අඩු වුන බවත් හෙතෙම සඳහන් කළේය.

කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත් බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර සුරක්ෂිතතාව නැති වුවහොත් රටේ ස්ථාවරත්වය විනාශවීමෙන් ලොකු ප්‍රශ්නයක් මතුවනු ඇති බවද ප්‍රකාශ කළේය.