කාලගුණික අපදාවන් පිළිබඳ ගෝලීය අවදානම් දර්ශකයේ 31 වන ස්ථානය ශ්‍රී ලංකාවට

0
31st place for Sri Lanka - කාලගුණික අපදාවන් පිළිබඳ ගෝලීය අවදානම් දර්ශකයේ 31 වන ස්ථානය ශ්‍රී ලංකාවට
2019 කාලගුණ අවදානම් දර්ශකය අනුව අපි 31 වන ස්ථානය දක්වා පැමිණ සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

2017 දී ලෝක කාලගුණික අවදානම් දර්ශකය මගින් ශ්‍රී ලංකාව කාලගුණික ආපදාවන්ට ලක් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින රටක් ලෙස 109 වැනි ස්ථානයෙහි පසු වී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අද දින (10) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද තක්සේරුව අනුව රටෙහි ජනගහනයෙන් සියයට 30- 38ක් අතර ප්‍රමාණයක් ජීවත් වන්නේ නාය යාම් අවදානම් සහිත ප්‍රදේශ වලයි.

ඉඩම් ප්‍රමාණය අනුව සළකා බලන විට එය සමස්ත ඉඩම්වලින් සියයට 20-30 අතර ප්‍රමාණයක් බව පරිසර අමාත්යංශය නිවේදනය කළා.

මේ දිනවල ඇද හැළෙන වර්ෂාව නිසා මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලගැලීම්වලට ලක්ව තිබෙනවා.

එමෙන්ම ගංවතුර, නායයාම් මෙන්ම ගස් කඩා වැටීම් මෙන්ම නිවාස කඩා වැටීම් නිසා ජනජීවිතය විශාල පීඩාවකට ලක්ව තිබෙනවා.

ඊයේ ( 09) දවස තුළ ඇදහැලී තිබෙන වර්ෂා දත්ත පිළිබඳ ව බලන විට බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 200කට එහා ගිය වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මේ අයුරින් අධීක වර්ෂාව ල්බිම මෙන්ම ඉදිරි කාලය තුළ අපිට විශාල නියඟයකටත් මුහුණ දෙන්නට සමහර විට සිදු විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මෙම සියලු ‍කාලගුණ බලපෑම් සිදුවන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිපලයක් විදියට. මම දැක්කා ඉන්දියාවේත් ලොකු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. පසුගිය සතියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැති එක්සත් ජාතින්ගේ පාරිසරික සමුළුවට අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ ඉහළ තාක්ෂණික කණ්ඩායමක් සහභාගි වුනා. ඊට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයින් අවධාරණය කළේ ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්.

අපි කුඩා රටක්. අපේ රට වායු ගෝලයට හරිතාගාර වායු විමෝචනය කරන රටක් නොවෙයි. නමුත් ලෝකය තුළ සිදුවන බලපෑම්වලින් මිදෙන්නට අපිට හැකියාවක් නෑ.

ඒ වගේම අපේ පරිසරය රැක ගැනීමේ වගකීමත් අපිට තිබෙනවා. කදුකරයේ ඉඩම්වල කැළැ හෙළිපෙහෙළි කිරීම, ගිනිතැබීම් නිසා සාමාන්‍ය වැස්සක දී වුවත් නාය යාමේ තත්ත්වයට පත් වෙනවා.

එමනිසා ආපදා කළමනාකරණය මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නාය යාම් ලක්ෂණ හඳුනාගත් පසු දෙන තීරණ අකැමැත්තෙන් නමුත් ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. නැතහොත් ජීවිත හානි සිදුවීමේ අවදානම වැඩියි.

මම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට 2014 ඔක්තොබර් මාසයේ 29 දා තමයි කොස්ලන්ද – මීරියබැද්ද නාය යාම සිදු වුනේ . මට මතක හැටියට එම නාය යාම නිසා පුද්ගලයින් 37 දෙනෙක් මරණයට පත් වුනා. ඒ වගේම ඒ වර්ෂයේම නැගෙනහිරට ලොකු ගංවතුරක් ආවා. මම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් ඒ ස්ථාන දෙකටම ගොස් මහජනතාවට අවශ්‍ය උදව් පදව් කළා.

ඔවුන් ආපදාවලින් මුදවා ගැනීමට කටයුතු කළා.

අපි දැනුත් ලොකු ආපදාවකට ලක්ව සිටිනවා. හැම තැනම ගංවතුර. නායයාම් සිදුවෙනවා. මේ වනවිට නායයාම් නිසා පුද්ගල ජීවිත 18ක් පමණ අහිමි ව තිබෙනවා.

ඒ නිසා ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය අනුව අපේ රට කුඩා රටක් වුවත් එම කාලගුණික අවදානම් තත්ත්වයේ ඉහළටම ඇවිත් තිබෙන බව අමතක නොකළ යුතුයි.”