දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ගේ යුද්ධ නීතිය පැනවීමේ උත්සහයට එරෙහිව ඉදිරිපත්වූ දෝශාභියෝගයෙන් පසු තත්වය

0
දකුණු කොරියාවේ ජනාධිපති

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා ඇති වීමට තුඩු දුන් එරට ජනාධිපති යූන් සුක් යෝල්ගේ යුද්ධ නීතිය පැනවීමේ උත්සහය සම්බන්ධයෙන් ඔහුව දෝෂාභියෝගයට ලක් කිරීමට එරට මන්ත්‍රීවරුන් ඡන්දය දී තිබේ.

යූන්ගේ පීපල් පවර් පක්‍ෂයේ (පීපීපී) මන්ත්‍රීවරුන් ද ඇතුළුව සමස්ත මන්ත්‍රීවරු 204ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නමුත් එම තීරණය ව්‍යවස්ථාපිත අධිකරණය මගින් අනුමත කළ යුතුව තිබේ.

දෝෂාභියෝගය සම්මත වීමෙන් පසු සෙනසුරාදා සවස දහස් ගණනක් යූන් විරෝධී විරෝධතාකරුවන් ජාතික සභාවෙන් පිටත එය සැමරූ අතර, රතිඤ්ඤා දල්වමින් ගී ගැයූ එහි සිටි ජනයා එය හැඳින් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලැබු ජයග්‍රහණයක් ලෙස ය.

යූන් ඊට එරෙහිව සටන් කිරීමට ප්‍රතිඥා දී “කිසි විටෙකත් අත් නොහරින” බව පවසා ඇත්තේ, මෙය ඔහුගේ ජනාධිපති ධූරයට තාවකාලික විරාමයක් ලෙස හඳුන්වමිනි.

“ඔබේ විවේචන, ප්‍රශංසා සහ සහයෝගය මම හදවතින් ම භාර ගෙන අවසානය දක්වා ම රට වෙනුවෙන් මගේ උපරිමය කරනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.

යූන්ගේ මෙම මුරණ්ඩු වචනවල ඔහු යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කර එය කෙටි කාලයකදී ඉවත් කිරීමෙන් පසු මේ මස මුලදී සමාව අයැදීම සිදු කළ ස්වරයට වඩා කැපී පෙනෙන වෙනසක් පෙනේ.

යූන්ට එරෙහි දෝෂාභියෝගයට ප්‍රබල මහජන සහයෝගයක් හිමි විය. මෑතකදී සිදු කළ මත විමසීම්වලින් පෙනී ගියේ, දකුණු කොරියානුවන්ගෙන් හතරෙන් තුනකට ඔහු ධූරයෙන් පහවනු දැකීමට අවශ්‍ය බව ය.

පසුගිය සතියේ ඡන්දය වර්ජනය කරමින් යූන් දෝෂාභියෝගයට ලක් කිරීමේ පෙර උත්සහය මැඩපැවැත්වීමෙන් පසු දින කිහිපයේ එල්ල වූ මහජන පීඩනයෙන් පසුව පීපීපී පක්ෂය එහි මන්ත්‍රීවරුන්ට ඡන්දය දීමට ඉඩ දීමට තීරණය කර තිබිණි.

“ජනතාවනි, ඔබේ වසර අවසානය දැන් තරමක් හෝ ප්‍රීතිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, ඔබ අවලංගු කරපු වසර අවසාන සැමරුම් යළිත් සිදුවේවි,” ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ජාතික සභා කතානායක වූ වොන්-ෂික් පැවසීය.

“කොරියානු ජනරජයේ අනාගතය සහ අපේ බලාපොරොත්තුව තියෙන්නේ ජනතාව අතේ, අපේ බලාපොරොත්තුව ශක්තිමත්,” යැයි ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජික වූ පැවසීය.

යූන්ව දෝෂාභියෝගයට ලක් කළ යුතු ද නැතහොත් නැවත සේවයේ පිහිට වීම කළ යුතු ද යන්න පිළිබඳව තීන්දු කිරීමට ව්‍යවස්ථාපිත අධිකරණයට දැන් දින 180ක කාලයක් ඇත. එය දෝෂාභියෝගයට ලක් කිරීමට තීරණය කළ හොත් දින 60ක් ඇතුළත මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මැතිවරණයක් කැඳවිය යුතු ය.

අගමැති හන් ඩක්-සූ වැඩබලන ජනාධිපති ලෙස වැඩ භාර ගන්නා අතර යූන්ගේ වැඩ තහනම් කෙරෙනු ඇත.

හන් පැවසුවේ තම අවධානය “තත්ත්වය ස්ථාවර කිරීම” සහ “ජනතාව සඳහා තත්ත්වය සාමාන්‍ය අතට ගෙන ඒම” බව ය.

කෙසේ වෙතත්, ජනාධිපති ධුරය සඳහා ඊළඟට සිටින මුදල් අමාත්‍ය චුයි සංග්-මොක් මෙන් ම හන්, පසුගිය සතියේ සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණයකට මැදි වී සිටිති.

මේ අතර, දකුණු කොරියාවේ පීපීපීහි උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයින් පස්දෙනා ම ඉල්ලා අස්වී ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.

ඉල්ලා අස්වූ උත්තරීතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යූන්ගේ ආධාරකරුවන් වන අතර තවත් දෙදෙනෙකු පීපීපී නායක හන්ගේ ආධාරකරුවන් බව ඒජන්සිය පවසයි.

සියලු ම උත්තරීතර මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ඇති බැවින්, නායකයාට බලය අහිමි වී පක්ෂය හදිසි පාලනයකට යනු ඇත.

දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කිරීම සඳහා දකුණු කොරියාවේ විදේශ අමාත්‍ය චෝ ටේ-යූල් එක්සත් ජනපද තානාපති ෆිලිප් ගෝල්ඩ්බර්ග් හමුවූ බව ද එම පුවත් ඒජන්සිය වාර්තා කළේ ය.

චීන සහ ජපාන තානාපතිවරු ද දකුණු කොරියාවේ විදේශ අමාත්‍යංශයේ නියෝජිතයන් හමුවී පවතින සබඳතා පවත්වාගෙන යන බව පවසා ඇතැයි යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කළේය.

People in South Korea celebrate after parliament passes a motion to impeach President Yoon Suk Yeol
ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා නගමින් ගී ගැයීමත් සමග ඔවුන් තුළ වූ ප්‍රීතිය පැහැදිලි විය

දැඩි සීතල නොතකා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් දවස පුරා රැස්ව සිටි ජාතික සභාවෙන් පිටත, බොහෝ දෙනෙක් යූන් පිටත්ව යනු දැකීමට අධිෂ්ඨාන කරගෙන සිටියහ.

“මට ගොඩක් සතුටුයි පනත සම්මත වීම ගැන… ඒ වගේ ම, සටන තව ම ඉවර නැහැ,” භෞත චිකිත්සක සිම් හී-සොන් බීබීසීයට පැවසුවේ කඳුළු පිස දමමිනි.

“ඔහුට එරහි දෝෂාභියෝගයේ අවසානයක් දකින්න අධිකරණයේ තීන්දුව එනතෙක් අපට බලා සිටීමට සිදුවෙනවා. අපි බලාගෙන ඉන්නවා.”

රුඩොල්ෆ් ඇඳුමින් සැරසී සිටි කාන්තාවන් දෙදෙනෙක් “[මේක] ප්‍රීතිමත් නත්තලක් වෙන්නේ යූන් සුක් යෝල් තුරන් වුවහොත් පමණයි,” යනුවෙන් සටහන් වූ පුවරු අත තබාගෙන සිටියහ.

ග්වෙංග්වාමුන් චතුරශ්‍රයේ යූන් හිතවාදී රැලියකදී දුටුවේ වෙනස් තත්ත්වයකි. ඡන්දය පිළිබඳ ප්‍රවෘත්තිය සැලවීමෙන් පසු ඔහුගේ ආධාරකරුවෝ නිහඬ වූහ. ඇතැම්හු එම ස්ථානයෙන් පිටව යාමට පෙර කෝපයෙන් බැන වැදුණහ.

යෝජනාව ඉදිරිපත් කළ විරුද්ධ පක්ෂයට ඔවුන් හා එක්වීමට තවත් අටක් පමණක් අවශ්‍ය වූ බැවින්, ඡන්දයේ සාර්ථකත්වය තීරණය වූයේ පීපීපී වෙතින් ලැබෙන සහයෝගය මතය. පසුගිය සෙනසුරාදා, විපක්ෂය ප්‍රථම වරට යූන් දෝෂාභියෝගයට ලක් කිරීමට උත්සහ කළ විට, පීපීපී පාගමනක් දියත් කිරීම නිසා ඔවුන්ට ඡන්ද කිහිපයක් අඩු විය.

සෙනසුරාදා, පක්ෂය ඉතා දිගු රැස්වීමක් පැවැත් වූ අතර එය පෙරවරු 10ට ආරම්භ වී ඡන්ද විමසීම ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් දක්වා ම පැවැත්විණි. එහිදී පීපීපී සාමාජිකයෝ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ සම්මුතියකට පැමිණීමට අරගල කළහ.

අවසානයේදී පක්ෂය ඡන්ද විමසීමට සහභාගී වීමට එකඟ වූ අතර ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය දීමට සිය මන්ත්‍රීවරුන්ට ඉඩ දුන්නේ ය. ඔවුන්ගෙන් අවම වශයෙන් 12 දෙනෙකු විපක්ෂයේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් බව පෙනෙන්නට විය. තවත් 85 දෙනෙක් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන්හ.

Yoon Suk Yeol
ඡායාරූප ශීර්ෂ වැකිය,යූන් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා මන්ත්‍රීවරුන් ඡන්ද 204ක් ඡන්දය ලබා දුන්හ

පසුගිය අඟහරුවාදා අගභාගයේදී යූන් ගේ කෙටිකාලීන යුද්ධ නීති ප්‍රයත්නයෙන් පසු දකුණු කොරියාව සති දෙකකට ආසන්න කාලයක් අවුල්සහගත සහ අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටියේ ය.

ඒ සඳහා යූන් “රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවේ තර්ජන උපුටා දක්වා තිබිණි. එහෙත් ඔහු මෙම පියවර ගෙන තිබුණේ බාහිර තර්ජන නිසා නොව ඔහු වටා වූ දේශපාලනික ගැටලු නිසා බව වැඩි කල් නොයා පැහැදිලි විය.

පැය කිහිපයකට පසු ඔහු එම නියෝගය වෙනස් කළේ මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඊට එරෙහිව ඡන්දය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වැටවල්වලින් පැන සහ බාධක බිඳ ඡන්ද මැදිරියට ඇතුළු වූහ.

පසුව ඔහු සමාව ඉල්ලා සිටියේ ය. ඉන්පසු බ්‍රහස්පතින්දා, ඔහු එසේ කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා බව පවසමින් තම ක්‍රියාවන් සාධාරණීකරණය කළ අතර “අවසානය දක්වා සටන් කරන” බවට පොරොන්දු විය.

Gallup Korea විසින් කරන ලද මත විමසුමකට අනුව, එම ප්‍රකාශය මිනිසුන්ට පියවර ගනීමට ශක්තියක් සැපයූ අතර, ජනාධිපතිවරයා වෙත තිබුණු මහජන සහය 11%ක වාර්තාගත අවම අගයකට පහත වැටිණි.

2016දී මෙම ක්‍රියාවලිය හරහා අවසන් වරට හිටපු ජනාධිපතිනි පාක් ගුන්-හයි බලයෙන් නෙරපූ දකුණු කොරියාවට ජනාධිපතිවරයෙකුට දෝෂාභියෝගයක් ගෙන ඒම නුපුරුදු දෙයක් නොවේ.

උත්ප්‍රාසාත්මක ලෙස, එවකට නීතිඥවරයෙකු වූ යූන් පාක්ට එරෙහි පරීක්ෂණයට නායකත්වය දී ඇති අතර, එය අවසානයේ ඇයගේ දෝෂාභියෝගයට හේතු විය.

BBC News