අප මින් පෙර පුවත් කිහිපයක් මගින් ම අනාවරණය කළ පරිදි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරට ආචාර්ය උපාධියක් තිබෙන බවට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සහ නිල ලේඛනවල සඳහන් වීම සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදය ශ්‍රී ලංකා දේශපාලනයේ නවතම ආන්දෝලනයක් බවට පත්ව ඇත. මෙම සිදුවීම පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක විතර්ක හා එහි සැඟවී ඇති දේශපාලන අරමුණු පිළිබඳව මහජන අවධානය යොමු වී තිබේ.
පසුගිය දිනවල, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ “ආචාර්ය” යන උපාධිය සඳහන් වී ඇති බවට මාධ්‍ය වාර්තා විය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින්ම මෙය වැරදි තොරතුරක් බව ප්‍රකාශ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අමාත්‍යවරයා පවසන්නේ තමන් කිසිදු විටෙකත් ආචාර්ය උපාධියක් ලබා නොගත් අතර, මෙම සිද්ධිය තමන්ව අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව ය. තම තොරතුරු වෙනස් කිරීමට හේතුව සොයා බැලීම සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ බව ඔහු පැවසීය.
පාර්ලිමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේ දත්ත ඇතුළත් කිරීමේදී සිදු වූ වැරදීමක් බව ය. නමුත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර විපක්ෂයට අවලාද නගමින් ‘බල්ලො බාගයක් අයින් කළා කිනිතුල්ලො ටිකක් තාමත් මේකෙ එල්ලිලා මේක කන්න බලන් ඉන්නවා’ යැයි අශිෂ්ට කතාවක් ද කියා පෑවේ ය.
කෙසේවෙතත්, දැන් අප වෙත සාක්ෂි සහිතව වාර්තා වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවන ලද ලිපියක පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට සාමාජිකයන් නම් කර යවද්දී සඳහන් කර ඇති නාම ලේඛනයේ හර්ෂණ නානායක්කාරගේ නම සඳහන් කොට ඇත්තේ The Hon. (Dr.) Harshana Nanayakkara යනුවෙනි. සභානායකවරයාගේ ලේකම් විසින් තම අත්සන යොදා එවා ඇති මෙම ලිපියෙහි පිටපතක් (CC) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත ද යොමු කොට ඇති බව සඳහන් වේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ සභානායකයා වන්නේ අමාත්‍ය බිමල් රත්නායක ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන අතර ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.
සභානායක බිමල් රත්නායක විසින් තම ලේකම්වරයා ලෙස පත් කර ගෙන ඇති එච්.ඊ ජනකාන්ත සිල්වා ද, අමුතුම තාලේ ‘සුවිශේෂී’ පුද්ගලයෙක් ලෙස සඳහන් කළ හැකිය. ජනකාන්ත සිල්වා; හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ‘ගොට්ටෙකු’ ලෙස ක්‍රියා කළ අයෙකු බවත්, දිනේෂ්ගේ බලය යොදා ගනිමින් පාර්ලිමේන්තු සේවකයන්ට කරදර කළ අහංකාර පුද්ගලයෙකු බවත් පාර්ලිමේන්තු සේවකයින්ගේ චෝදනා එල්ල වී ඇත. එමෙන්ම, ඔහු විශ්‍රාම ගොස් සිටි පුද්ගලයෙකු බවත්, විශ්‍රාම ගිය ජනකාන්ත සිල්වා නැවත සේවයට බඳවාගෙන සභානායකවරයාගේ ලේකම් කරවීමට බිමල් රත්නායක කටයුතු කිරීම සම්බන්ධයෙන් සේවකයන් අතර පුදුමයක් හා කතාබහක් ඇති වී ඇති බවත් වාර්තා වෙයි.
අනෙක් අතට, හර්ෂණ නානායක්කාර ජනතා විමුක්ති පෙරමුණට පිටින් ජාතික ජන බලවේගයට එක් වූ පුද්ගලයෙකි. මෙම තත්ත්වය අනුව පැහැදිලි වන්නේ ඔවුන් අතර අන්‍යොන්‍ය අවබෝධයකින් තොරව මේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කරන බවකි. දේශපාලන විචාරකයන් මෙම සිද්ධිය පිටුපස දේශපාලන අරමුණක් ඇති බවට සැක කරති. එය ආණ්ඩුව තුළ ඇති බල අරගලයක ප්‍රතිඵලයක්, හෝ අමාත්‍යවරයාගේ පක්ෂය තුළ ඇති විශ්වාසය නැති කිරීමට හෝ රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට හේතු විය හැකි බවත් ඔවුහු පවසති. විශේෂයෙන්ම ආණ්ඩුවේ සභානායකයා සහ අමාත්‍යවරයා අතර ඇති විය හැකි බල අරගලයක් මෙම සිදුවීමට හේතු විය හැකි බව සමහරු පවසති.
සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට යොමුකල සම්පූර්ණ ලිපිය පහතින්