අතරමං සුරතලකුට ආදරය පුද දී ජීවිතයට සමුදුන් රත්තරන් දියණීය

0
Hansani - අතරමං සුරතලකුට ආදරය පුද දී ජීවිතයට සමුදුන් රත්තරන් දියණීය
මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ කවදාවත්ම නුදුටු තරමේ ලස්සන මල් නිදහසේ පිපී තිබෙන විලාසයක් එහි තිබේ. ලෝකයේ සොඳුරුම දසුන් තෝරන්නට අවස්ථාවක් ල‍ෙදාත් නින්දේ පසුවන දරු පැටවුන්ගේ මුහුණු තරම් හදවත් පැහැර ගන්නා වෙනත් සොඳුරු දසුනක් නැතැයි ඔබට සිතෙනු ඇත.

එහෙත් මවුපියන් ජීවත්ව සිටියදී විවිධ අනපේක්ෂිත විපත් නිසා දරුවන් සදහටම නින්දට යෑම පිළිබඳව නම් සිතීමත් අසීරුය. ඒ ගැන ඔබේ හදවත ඔබට කියන වේදනාව මොන තරමේ එකක් ද? අම්මා තාත්තා දිවමන්ව සිටියදී දරුවන් අවසන් ගමන් යනු දකින්නට සිදුවීම තරම් ඉසිලිය නොහැකි හද ගින්දරක් මේ ලෝකයේ තවත් තිබේ ද?

මා මේ වචන කිහිපය ඔබට ලීවේ මීට ටික ‍දොහකට පෙර එවැනි වේදනාබර කතාවකින් අපේ හදවත් වෙළී ගිය නිසාය.

මුළු ලොව බිලියන 07කට වැඩි ජනතාවක් එකම වයිරසයක් විසින් බරපතළ පරීක්ෂණයකට ලක්කරනු ලැබ ඇති බිහිසුණු වසංගත කාලයකි අප මේ ගෙවමින් සිටිනුයේ. ඉතින් මරණය පිළිබඳ මේ තරම් ගැඹුරින් මෙන්ම සුලබව කතා කළ යුගයක් අප දන්නා ඉතිහාසයක නොතිබූ තරම්ය. එහෙත් මිනිස් වර්ගයාගේ සතුට සහ අනාගතය වන දරුවන් රැකගැනීම සහ ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවීම තරම් තවත් දෙයක් ඇද්ද? මේ ලියැවිල්ලේ අරමුණම ඒ වෙනුවෙන් වැඩිහිටියන්ගේ පමණක් නොව එවැනි කාරුණික සංවේදී දරුවන්ගේද හදවත් අවදි කිරීමය.

සතුන්ට ආදරය දැක්වීම හොඳ දෙයකි. තමන්ට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කළ නොහැකි, තමන්ගේ දුක, කුසගින්න, වේදනාව කියාගන්නට බැරි අසරණ සතුන් වෙනුවෙන් දයාව දැක්වීම හොඳ දෙයකි. හොඳ යහපත් මිනිස් ගතියකි. මේ දියණියට ජන්මයෙන්ම තිබුණේ ඒ උත්තරීතර ගුණයය. එහෙත් එයම අවුරුදු 14ක් වැනි සුන්දර වියේදී ඇගේ ජීවිතය අවසන්වීමට හේතුවක් විණැයි කෙසේ නම් සිතන්නද? එහෙත් එය සිදු වී තිබේ. 

කොළොන්නාව බාලිකා විද්‍යාලයේ සිසුවියක වූ හංසනී ඔල්ගා ජයවීර දියණිය පුංචි කාලයේ පටන්ම පූස් පැටවුන්ට, බලු පැටවුන්ට දැඩි ලෙස ආදරය කරන්නියක වූවාය. ඔවුන් ඇති දැඩි කරන්නටද සුරතල් කරන්නටද උන්ගේ විපත්වලදී පිහිට වන්නටද තරමේ සතුන් කෙරෙහි ඇය දැක්වූ කරුණාව මහත් වූ එකක් විය.

“අම්මෙ මම කවදා හරි පශු වෛද්‍යවරියක් වෙලා සත්තුන්ට පිහිට වෙනවා”. දියණිය බොහෝ විට සිය මවට කියන අවස්ථා තිබිණ.

“දුව හොඳට ඉගෙන ගන්නකො. එතකොට ඩොක්ටර් කෙනෙක් වෙලා සත්තුන්ට ගොඩාක් පිහිට වෙන්න පුළුවන්…” කොළඹ ඩී. ඇස්. සේනානායක විදුහලේ ගුරුවරියක වන අම්මා නිල්මිණි ජයවීර මහත්මිය ඒ ගැන සිහි කරන්නේ වේදනාව පිරි හදවතිනි.

දැන් ජීවත් වන හේනේගම, වැලිවේරිය නිවෙසේ පදිංචියට එන්නට පෙර හංසනීලා සිටියේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසේය. ඇය සතුන්ට කොයි තරම් ආදරය කළේ දැයි කියනවා නම් ඒ බව දන්නා සමහර මිනිසුන් ඇගේ ගෙදර ගේට්ටුවෙන් අසරණ සතුන් ඇතුළට දමා යන අවස්ථා තිබිණ. ඒ ඇය උන්ට පිහිට වන බව දන්නා නිසාය. පසුගිය කාලයේ ඇය එවැනි ලස්සන පූස් පැටවකු ඇතිදැඩි කරමින් සිටියාය. උගේ බෙල්ලේ රිබන් පටියක් ගැටගසා කිරි පොවමින් උගේ හැඩ බලමින් සුරතල් කරමින් උන්නාය. හදිසියේ මේ සතා අතුරුදන් විය. සුරතල් බළල් පැටවකු වූ මේ සතා කිසියම් කෙනකු විසින් සොරාගෙන ගොස් තිබිණ. ඇය මේ ගැන මහත් වේදනාවෙන් අඬමින් සිටි බව මව කියන්නීය. මේ සිදුවීම වූයේ ඔය අතරය.

පසුගිය අප්‍රියෙල් 16 වැනිදා මේ පවුලේ එකම දියණිය හංසනී සිය අම්මා තාත්තාත් අයියලා දෙන්නාත් සමඟ පුත්තලම පැත්තේ ඥාති ගෙදරක ගියේ සිංහල අවුරුද්ද වෙනුවෙනි. ඒ එන අතරමග ඔවුන් හලාවත පොදු වෙළෙඳපොළට ගියේ ගෙදරට අවශ්‍ය කළමනා ටිකක් මිලදී ගැනීමටය. ඔය අතරේ කවුදෝ කෙනකු බලු පැටවකු ගෙන යනවා හංසනී දුටුවාය. පූස් පැටියා නැතිවුණු කාන්සියෙන් සිටි හංසනීට මෙය මහත් අස්වැසිල්ලක් විය. අම්මාට පෙරැත්ත කළ ඇය අර බලුපැටවා ගත්තේ කොහෙන්දැයි ඒ පුද්ගලයාගෙන් විමසුවාය. හලාවත පොදු වෙළෙඳපොළේ මුල්ලක බලු පැටවුන් කීපදෙනකු බිහිකර තිබිණ. එහි සිටි ආරක්ෂක නිලධාරියාගේද උදව්වෙන් ඇය බලු පැටවුන් දෙදෙනකුම ගෙදර ගෙන ආවාය. ඒ වන විට උන්ගේ වයස සති 03 ක් විය.

සුදු පාට සතාට ‘රොකී’ යනුවෙන්ද කළු පාට සතාට ‘මැක්ස්’ යනුවෙන්ද හංසනීගෙන් නම් ලැබිණ. හොඳින් උණුසුමට පොරවා කිරි පොවමින් හිස අතගාමින් ඇය උන් සමඟ සතුටින් උන්නාය. පශු වෛද්‍යවරයකු ළඟට ගෙන ගොස් මූලික සත්කාර සිදුවිය.  එහෙත් ජලභීතිකා එන්නත් විදීමට සතුන්ට සති 06ක් සම්පූර්ණ විය යුතුය.

මේ දිනවල දරුවන්ට පාසල් නැත. අමතර පන්තිවලට ගෙදරින් පිට යන්නේද නැත. යහළු යෙහෙළි ඇසුර අල්ලාප සල්ලාපද වෙනදා වගේ නැත. දරුවන්ගේ පවා සිත් සතන් හුදෙකලා කනස්සල්ලකින් පිරී ගොස්ය. හංසනීගේ තාත්තාද දැන් කලක සිට සුළු ආඝාත තත්ත්වයකින් පෙළෙමින් ප්‍රතිකාර ලබයි. ඒ හැඟීම් සමඟ කොහොමත් සතුන්ට ආදරය දක්වන දුවක් විශේෂයෙන්ම මේ සුරතලුන්ට ළංවීම ස්වාභාවිකය. ගුරුවරියක වූ අම්මා මේ තත්ත්වයන් තේරුම් ගෙන දරුවාට අනුග්‍රහය දැක්වූවාය. එහෙත් අවාසනාව ඒ පසුපස රහසේ ආවේය.

සුදු පාට බලු පැටවා ‘රොකී’ අසනීප ගතියක් පෙන්වන්නට වූයේ ඔය අතරය. කෑම කෑවේ නැත. කිරි බිව්වේ නැත. හංසනී දුකට පත් වූවාය. මේ දිනවල සංචරණ නීති නිසා දන්නා කියන පශු වෛද්‍යවරයකුගෙන් ජංගම දුරකථනයට බෙහෙත් ලියවා ගෙන ඒවා ගෙනත් දුන්නාය. එහෙත් රොකී සුවයක් ලබන පාටක් නැත. මේ තත්ත්වයෙන් දියණියත් වේදනාවට පත්වන බැවින් පශු වෛද්‍යවරුන් දෙදෙනකු ළඟටම යන්නට අම්මාට සිදුවිය. වැලිවේරියේ සිට කඩවත පශු වෛද්‍යවරයකු වෙත සුරතලා රැගෙන ආවේ දිනක් රාත්‍රි 10.00ට පමණය. ඔහු පණු බෙහෙත් දුන්නේ ය. මැක්කන් නිසා වෙන්නට ඇති යැයි පවුඩර් වර්ගයක්ද නියම කෙරිණ. මේ ප්‍රතිකාරවලින්ද රොකීට සුවයක් ලැබුණේ නැත. දරුවාගේ ආදරය නිසා අම්මා ඇයත් සමඟ දිනකට දෙවරක් උදේ සවස වෛද්‍යවරයා වෙත සතා රැගෙන ආවාය. එන්නත් දුන්නේය. ඔක්සිජන් පවා දුන්නේය. එහෙත් පලක් නොවිණි. මැයි 01 වැනිදා ‘රොකී’ අවසන් හුස්ම හෙළුවේය.

කළු පාට සුරතලා ‘මැක්ස්’ ගෙදර සිටියද හංසනී දියණිය ‘රොකී’ වෙනුවෙන් මහත් දුකින් හඬා වැටුණාය. අම්මාද හැඬුවාය. මොනවා වුණත් දෙදෙනාම කාන්තාවන් නිසා සුරතල් සතුන්ට ආදරය වැඩිය. සියුම්ය. සංවේදීය. වේදනාව දැනෙනවා වැඩිය. සතාගේ දේහය ගෙදර ගෙනාවේය. ආදරය සහ ගෞරවය ඇතිව ‘රොකී’ මිහිදන් කෙරිණ.

සති දෙක තුනක් ගෙවී ගියේය. හංසනී දියණිය අසනීප ගතියක් පෙන්වූවාය. විටින් විට එන හිසේ කැක්කුමක්ද උණ ගතියක්ද මතු විය. උගුරේ වේදනාවක් තිබිණ. කෑම කන්නට නොහැකි විය. වසංගත කාලයක් බැවින් නොයෙක් සැක මතුවීම ස්වාභාවිකය. එහෙත් එවැන්නක් නැත. මිය ගිය බලු පැටවාගෙන් යම් ආසාදනයක් විණැයි සිතුවද කිසිදු සපාකෑමක් හෝ සීරීමක් වත් සිදුවූයේ නැතැයි දියණිය කීවාය. බියමුසු සැකයකින් අම්මා ද දුවගේ අත පය පරික්ෂා කළාය. කිසිදු සලකුණක් නැත.

හංසනී දියණිය නිරෝගී දැරියකි. ඉගෙනුමටද සමත්කම් දක්වන අතරම චිත්‍ර ඇඳීමටද නැටුමට ගැයුමටද හපනියකි. මේ හදිසි අසනීප ස්වාභාවය කුමක්ද? දරුවකු රෝගී වීම, පීඩාවට පත්වීම තරම් මවකට පියකුට ඉසිලිය නොහැකි කිසිවක් නැත. වෛද්‍යවරයකු වෙත ගෙනගොස් කීප විටක් ප්‍රතිකාර ගත්තද හොඳ සුවයක් නොවිණි.

ජුනි මුල් සතිය වන විට දරුවාගේ තත්ත්වය උග්‍ර අතට හැරිණ. වසංගත තත්ත්වයද තිබෙන බැවින් දුම් වාෂ්ප අල්ලන්නට හැදුවද එසේ කරන්නට එපා යැයි ඇය කීවේ වේදනාවෙනි. “මට හුළං වදින කොට අමාරුයි අම්මේ .. ෆෑන් ඕෆ්කරන්න… හුස්ම ගන්න බෑ…උගුර හිර වෙනවා.. සියුමැලි දැරිය කෙඳිරි නඟන්නට වූවාය. අම්මා නිල්මිණි ජයවීර මහත්මිය එය සිහි කරන්නේ වේදනාබර දුබල හඬිනි.

‘’ජුනි 07වැනිදා රාත්‍රියේ දුවට හොඳටම අමාරු වුණා. අපි 08 වැනිදා උදේම රදාවාන රෝහලට ගියා. ගෙදරින් යනකොට අපි කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. දුවම අමාරුවෙන් ගිහින් කාර් එකේ වාඩිවුණා.  රදාවානෙන් ගම්පහ මහ රෝහලට යැව්වා. 02 වාට්ටුවට ඇතුළත් කළා. මමත් ළඟ හිටියා…එහෙදි තමයි ජලභීතිකා රෝගය බවට වෛද්‍යවරු අනුමාන කළේ.

‘’මට මොනවද වෙනවා. ඔළුව ගොඩක් කැක්කුමයි. හුළං වදින්න බෑ අම්මෙ. මට නිදා ගන්න ඕන.. දුව කියනව. එයාව බලන්න අයියලා දෙන්නට එන්න කිව්ව. අයියලා දෙන්න ආව. ඒ දෙන්නගෙ අතඅල්ලන් මුහුණු බලා ගෙන හිටියා. ඔය අතරෙ අපේ ඉස්කෝලෙ ටීචර්ලා දුව වෙනුවෙන් සෙත් පතලා පිරිත් කිව්ව. ඒක එයාට මම ඔන්ලයින් පෙන්නුවා.. අම්මෙ මිනිස්සු මැරෙන්න යනකොට පිරිත් දාන්නෙ ඇයි අම්මෙ..? දුව මගෙන් ඇහුවා. මම කිව්ව ටීචර්ස්ලා පිරිත් කියන්නෙ දුවට සෙත් පතලා දුව බය වෙන්න එපා කියල..

‘’පහුවදා 09 වැනිදාත් මම ළඟ හිටියා. මගේ ඇඟ මොනවද වෙනවා අම්මෙ.. අම්මා මගේ ළඟින් ඉන්න… කොහෙවත් යන්න එපා… මගේ අත තදින් අල්ලගෙන හිටියා. අනේ ඒ වෙලාවෙ මගේ දුව මගෙන් ඇහුවා අම්මෙ මම මැරෙයිද අම්මෙ…’’ කියලා.

ඒ වදන දරුවකුගේ මුවින් පිටවනු ඉසිලිය හැක්කේ මොන අම්මා කෙනෙකුටද? ඊට වඩා යමක් ඇගෙන් අසන්නට මට බැරිය. ඇය ඉකි බිඳින්නට වූවාය. එය ඉවැසිය නොහැකි මහා වර්ෂාවක් මෙන් මට දැනෙන්නට විය. උතුරා යන දරු සෙනෙහස, අහිමි වීම, වෙන්වීමේ වේදනාව ඒ වර්ෂාවේ දෝර ගලා යනු මට දැනිණ. 

මිය ගිය සුදු පාට බලු පැටවා ‘රොකී’ ගේ අසනීපයට කළ බෙහෙත් පිළිවෙළට සටහන් කරමින් දියණිය ලියූ පුංචි පොත තවමත් ගෙදර පැත්තක තිබේ. තම සොහොයුරා අතින් මේ දියණියට වරදක් සිදුවූ බව කිසිත් නොදත් කළු පාට බලු පැංචා ‘රොකී’  ගෙදර නිදැල්ලේ තවමත් සුරතල් වෙයි. ඒ මතකයන් සමඟ මේ අම්මා ජීවත් වන්නේ කෙලෙස දැයි ඔබට සිතා ගන්නට  පුළුවන්ද? ජීවිතය හරි පුදුමය. මහා අනෝරා වැසි සමයකට මැදිව කොයිතරම් නම් පීඩා වින්දද මලක් සිය සුවඳ හෝ පැහැය අත් නොහරින්නීය. අම්මාගේ ආදරයද සෙනෙහසද වේදනාවද ඒ වගේය. ඉන් මිදී ඇයට සමු දෙන්නට පෙර ඇය අස්වසන්නට අසමත්ව මා යම් යම් දේ ඇයට කියූ බව පමණක් මට මතකය. එහෙත් ඒවා ඇයට ඇසුණා දැයි මම නොදනිමි.

තිස්ස කොරතොට

(මව්බිම පුවත්පත ඇසුරිනි)

කොරෝනා අස්සේ දරුවන් අතර පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන පණු රෝගයකුත් පැතිරෙයි