ගාසා තීරයේ ජන සංහාරක ක්‍රියාවන් වැළැක්වීමට ඊශ්‍රායලය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊයේ (ජනවාරි 26 වැනිදා) තීන්දු කරනු ලැබීය, නමුත් හේග්හි එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් යුද මෙහෙයුම් වහා නතර කරන ලෙස නියෝග කිරීමෙන් වැළකී සිටියේය.
ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ගොනු කරනු ලැබූ ජන සංහාරක නඩුවේ අතුරු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය කරනු ලැබීය.
ජන සංහාරක ක්‍රියාවන් වැළැක්වීමට ජාත්‍යන්තර අධිකරණය නියෝග කරන ලද කරුණු මොනවාද?
- ජන සංහාරයක් ලෙස සැලකිය හැකි ඕනෑම ක්‍රියාවක් වැළැක්වීමට ඊශ්‍රායලය සියලු පියවර ගත යුතුය – (ඒ අනුව කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම, ශාරීරික හානියක් සිදු කිරීම, කණ්ඩායමක් විනාශ කිරීමේ සැලසුම් මත කොන්දේසි පැනවීම, උපත් වැළැක්වීම)
- ඊශ්‍රායලය තම හමුදාව කිසිදු ජන සංහාරක ක්‍රියාවක් නොකරන බවට සහතික විය යුතුය.
- ගාසා තීරයේ ජන සංහාරයක් කිරීමට පෙළඹවීමක් ලෙස සැලකිය හැකි ඕනෑම ප්‍රසිද්ධ ප්‍රකාශයක් වැළැක්වීමට සහ දඬුවම් කිරීමට ඊශ්‍රායලය පියවර යුතුය.
- මානුෂීය ප්‍රවේශය සහතික කිරීමට ඊශ්‍රායලය පියවර ගත යුතුය.
- ඊශ්‍රායලය සමූල ඝාතන නඩුවකට යොදාගත හැකි ඕනෑම සාක්ෂියක් විනාශ කිරීමෙන් වැළැක්විය යුතුය.
- මෙම නියෝගය ලබා දී මාසයක් ඇතුළත ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ ජාත්‍යන්තර අධිකරණය ඔවුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
යුද්ධය අඛණ්ඩව
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අධිකරණ තීන්දුවට සිය ප්‍රතිචාරය දක්වමින් අවධාරණය කළේ, ඊශ්‍රායලය “ජාත්‍යන්තර නීතියට අනුගත වෙමින් තම රට සහ තම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරන” බවයි.
ඊශ්‍රායලය “පූර්ණ ජයග්‍රහණය තෙක්” සහ “සියලු ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන තුරු” මෙම යුද්ධය අඛණ්ඩව කරගෙන යන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ගාසා තීරයේ ජන ඝාතක ක්‍රියාවන් වැළැක්වීමට ඊශ්‍රායලය සියලු පියවර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ අධිකරණය අද ලබාදුන් තීන්දුවෙන් පසුව ඔහුගේ මෙම ප්‍රකාශය සිදු විය.
වහාම සටන් විරාමයක් සඳහා දකුණු අප්‍රිකාව කළ ඉල්ලීමට අධිකරණය එකඟ වූයේ නැත.
ජාත්‍යන්තර අධිකරණය යනු කුමක් ද? එය ඊශ්‍රායලයට එරෙහි ජන සංහාර නඩුවක් විභාග කරන්නේ ඇයි?
එය මෙම සියවසේ නඩු කටයුත්ත වේ.
ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරනවා ද? ඔවුන් ජන සංහාරයක් සිදු කරන බව දකුණු අප්‍රිකාව පවසන අතර 2023 දෙසැම්බර් 29 වන දින හේග්හි ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ද ගොනු කළේ ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම රට ගාසා තීරයේ ගෙන යන යුද්ධ ව්‍යාපාරය තුළ උපරිම ලෙස “සදාචාරසම්පන්නව” හැසිරෙන බව පවසන්නේ, එරට රජයේ ප්‍රකාශකයෙකු දකුණු අප්‍රිකාව විසින් පවරන ලද නඩුව යුදෙව්වන් කිතුනුවන්ගේ රුධිරය පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සඳහා භාවිත කිරීමට ඔවුන් ඝාතනය කළ බවට වන සාවද්‍ය චෝදනාවට (blood libel) සමාන කරන පසුබිමක ය.
දකුණු අප්‍රිකාව විසින් පවරන ලද නඩුව කුමක් ද?
දකුණු අප්‍රිකාව විසින් පවරන ලද පිටු 84කින් සමන්විත නඩුවේ සඳහන් වන්නේ, ඊශ්‍රායලයේ ක්‍රියා “ජන සංහාරයක ස්වභාවයක් ගන්නේ ඒවා” ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ගෙන් “සැලකිය යුතු කොටසක් විනාශ කිරීමට අදහස් කරන” බැවින් යනුවෙනි.
මෙම ජනඝාතක ක්‍රියාවලට පලස්තීනුවන් ඝාතනය කිරීම, බරපතළ ලෙස මානසික හා ශාරීරික හානියක් සිදු කිරීම සහ “කණ්ඩායමක් ලෙස ඔවුන් භෞතිකව විනාශය කිරීමට” අවශ්‍ය තත්ත්ව හිතාමතා ඇති කිරීම අතුළත් බවට ඔවුහු තර්ක කරති.
දකුණු ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ කථිකාචාර්ය ජුලියට් මැකින්ටයර් පවසන්නේ, දකුණු අප්‍රිකාව විසින් ගොනු කරනු ලැබ ඇති නඩුව “ඉතා පුළුල් පරාසයක් ආවරණය වන පරිදි” සහ “දැඩි සංයමයකින් යුතුව සකස් කර ඇති” බව ය.
“ඒක ඊශ්‍රායල පාර්ශවයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් හැම තර්කයකට ම වගේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ… සහ අධිකරණ බලයට අභියෝගයක් වෙන්න පුළුවන් තැන්වලදී අවශ්‍ය විසඳුම් දෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ,” ඇය බීබීසීයට පවසයි.
“දකුණු අප්‍රිකාව පවසන්නේ, නඩු පැවරීමට පෙර ඊශ්‍රායලය සමග විවිධ සාකච්ඡා සහ සමුළුවලදී පවතින ගැටළු මතු කළ බව ය.”
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අදිලා හසීම් කවුද?
ඊශ්‍රායලය ජනසංහාරයක් සිදුකරන්නේයැයි චෝදනා කරන දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥවරිය වන අදිලා හසීම්, ජාත්‍යන්තර අධිකරණයට (ICJ) මෙසේ පැවසුවා ය: “මේ අධිකරණයෙන් ලබාදෙන නියෝගයකින් හැරුණුකොට, මේ විඳවීම වෙනත් කිසිම අයුරකින් නැවතෙන්නේ නැහැ.”
ඇය මෙසේ ද පැවසුවා ය: “හැම දවසකම, පලස්තීන ජනතාවට සිදුවන පිරිමැසිය නොහැකි ජීවිත හානිය, දේපළ, ආත්ම ගරුත්වය හා මනුෂ්‍යත්වයට සිදුවන හානි වැඩිවෙමින් පවතිනවා.”
මේ, අපි ඇය ගැන දන්නා දේ ය.
- හසිම් දශක ගණනක් තිස්සේ සමාජ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ කටයුතුවලට සම්බන්ධවී ඇත.
- 2003 ජුනි මාසයේ දී ජොහැන්නස්බර්ග්හි නීතීඥ සංගමයට බැඳුනු ඇය නීති වෘත්තියට එක්වූවා ය.
- ඇගේ සුදුසුකම් අතර BA LLB (නීතිවේදී උපාධිය), LLM (නීතිපති උපාධිය) සහ JSD (අධිකරණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය) ඇතුළත් වේ.
- ඇය, රජයෙන් ආර්ථික සමානාත්මතාවය, වගවීම සහ සෞඛ්‍ය සේවා අපේක්ෂා කරන්නන්ට යුක්තිය ඉටු ඉල්ලන නඩු පවරා තිබේ.
- හසීම්, සෞඛ්‍ය සේවා සහ මූලික අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටින ලාභ නොලබන නීති මධ්‍යස්ථානයක් වන ‘සෙක්ෂන් 27’ සම-ආරම්භ කළා ය.
- ඇය දූෂණ විරෝධී සංවිධානයක් වන ‘කරප්ෂන් වොච්’හි සම නිර්මාතෘවරිය ද වෙයි.
- ඇය ආන්තික කණ්ඩායම්වලට බලපාන නඩු භාරගන්නා, බොහෝවිට සීමා කිරීම් ව්‍යවස්ථා විරෝධීබව ඔප්පු කිරීමට තැත් කරනා නීතිඥ කණ්ඩායම්වලට නායකත්වය දෙයි.
- හසීම් දකුණු අප්‍රිකාවේ මහාධිකරණවල විවිධ අංශවලත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේත් පෙනී සිට ඇත.
- ඇය වැඩ බලන විනිසුරුවරියකි.
ඊශ්‍රායලයේ ප්‍රතිචාරය කුමක් ද?
ඊශ්‍රායල රජයේ ප්‍රකාශක ඒලෝන් ලෙවී පවසා ඇත්තේ, ඊශ්‍රායලය මෙම නඩුවට එරෙහිව සටන් කරන බව ය. හමාස් සංවිධානය ආරම්භ කළ යුද්ධයේ සදාචාරාත්මක වගකීම සම්පූර්ණයෙන් ම ඔවුන් [හමාස්] මත පැටවෙන බව ද ඔහු පැවසීය.
ජන සංහාරයක් යනු කුමක් ද?
1948 එක්සත් ජාතීන්ගේ ජන සංහාර සම්මුතිය යටතේ, එය ජාතික, වාර්ගික, ජාතිවාදී හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් කරනු ලබන ක්‍රියාවකි, එයට ඇතුළත් වන්නේ:
- කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය කිරීම
- කණ්ඩායමේ සාමාජිකයින්ට බරපතළ ලෙස ශාරීරිකව හෝ මානසිකව හානි සිදු කිරීම
- හිතාමතා භෞතික විනාශයක් ඇති කිරීම සඳහා සැලසුම් කර තත්ත්ව ඇති කිරීම
- උපත් වැළැක්වීමට අදහස් කරන පියවර පැනවීම
- කණ්ඩායමේ දරුවන් බලහත්කාරයෙන් වෙනත් කණ්ඩායමකට මාරු කිරීම
ජන සංහාර යනු, ඔප්පු කිරීමට අපහසු ම ජාත්‍යන්තර අපරාධවලින් එකකි.
ජන සංහාරයක් සම්බන්ධයෙන් චෝදනා කළ හැක්කේ කාට ද?
ජන සංහාරයක් සම්බන්ධයෙන් රාජ්‍යයකට හෝ පුද්ගලයෙකුට චෝදනා කළ හැකි ය.
ට්‍රිනිටි කොලේජ් ඩබ්ලින්හි නීතිය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන මයිකල් බෙකර් පවසන්නේ, ජන සංහාරයක් සිදු කළ බවට වැරදිකරුවෙකු සොයා ගැනීම හා සැසඳීමේදී ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කරන රාජ්‍යයක් සොයා ගැනීම අතර වෙනසක් ඇති බව ය.
“මෙම වෙනස සංකීර්ණ යි වගේ ම ඒක ව්‍යාකූලත්වයට හේතු වෙන්න පුළුවන්,” ඔහු පවසයි.
ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) කාර්යභාරය කුමක් ද?
ICJ යනු, රාජ්‍යයන් අතර ඇති වන ආරවුල් සම්බන්ධයෙන් තීන්දු දෙන එක්සත් ජාතීන්ගේ ඉහළ ම අධිකරණය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින සියලු ම සාමාජිකයින් නිරායාසයෙන් ම ICJ හි සාමාජිකයෝ වෙති.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය විසින් වසර නවයක ධූර කාලයක් සඳහා තෝරා පත් කරගනු ලබන විනිසුරුවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත ICJ හමුවේ යම් රාජ්‍යයක් නඩුවක් ගොනු කළ යුතු ය.
1948 ජන සංහාර සම්මුතිය සම්බන්ධ නඩු ඇසීම අධිකරණයේ එක් කාර්යභාරයකි.
1939 සිට 1945 දක්වා පැවති දෙවන ලෝක සංග්‍රාමයේදී යුරෝපයේ යුදෙව්වන් මිලියන හයක් නාසීන් විසින් ඝාතනය කරන ලදී. ඉන් පසුව, ලෝක නායකයෝ මෙම සම්මුතිය සම්මත කර ගැනීමෙන් නැවත එවැනි සිදුවීම් හට ගැනීම වළක්වා ගැනීමට උත්සහ කළහ.
ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, මියන්මාරය, රුසියාව සහ එක්සත් ජනපදය එය පිළිගෙන ඇති පාර්ශව 153න් කිහිපයකි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගැන කුමක් කිව හැකි ද (ICC)?
ජාත්‍යන්තර අපරාධ අධිකරණය 2002 වසරේදී ස්ථාපනය කරන ලද අතර එය ද හේග් නුවර පිහිටා ඇත. යම් ගැටලුවක් විසඳීමට දේශීය අධිකරණයක් අසමත් වූ විට පමණක් අවසාන තීන්දුව ලබා දීම සඳහා ක්‍රියාත්මක වන ආයතනය එය යි. එක්සත් ජනපදය, රුසියාව සහ ඊශ්‍රායලය එහි සාමාජිකයන් නොවේ.
ICC අපරාධ නඩු අසන අතර එයට යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර සම්බන්ධයෙන් පුද්ගලයෙකු වරදකරු කළ හැකි ය. නීතිය සම්බන්ධයෙන් වෙනස් අර්ථකථන අධිකරණ දෙක සතුව පවතී. අයිසීසීයේ පැමිණිලිකාර නීතිඥ පාර්ශවය නඩු ආරම්භ කිරීම හෝ පැවරිය යුතු වේ.
ජන සංහාර සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇත්තේ කවුරුන් ද?
1994 වසරේදී 800,000ක් පමණ ටුට්සි වැසියන් සමූලඝාතනය කිරීමේ ක්‍රියාකලාපය වෙනුවෙන් 1998 වසරේදී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී (ICTR) රුවන්ඩා හුටු ගෝත්‍රයට අයත් ජෝන්-පෝල් අකියාසු ජන සංහාරයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු පුද්ගලයා විය.
2017 වසරේදී, හිටපු යුගොස්ලාවියාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICTY) විසින් 1995 ස්‍රෙබ්‍රෙනිට්සා නගරයේ සිදු වූ සමූලඝාතනය සඳහා හිටපු බොස්නියානු සර්බියානු අණදෙන නිලධාරී රච්කෝ ම්ලැදිච් ජන සංහාරයක් සම්බන්ධයෙන් වරදකරු කරන ලදී. එම ජන සංහාරයේදී ඔහුගේ භටයින් විසින් මුස්ලිම් ජාතික පිරිමින් පුද්ගලයින් සහ පිරිමි දරුවන් 8,000ක් ඝාතනය කරනු ලැබ තිබිණි.
නමුත් සර්බියාව හෝ එවකට යුගොස්ලාවියාව ස්‍රෙබ්‍රෙනිට්සාහි ජන සංහාරයක් සිදු කළ බවට බොස්නියාව නැගූ චෝදනා ජාත්‍යන්තර අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
ඒ වෙනුවට, ජන සංහාරය වැළැක්වීමට සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ඉහළ පෙළේ හමුදා ජෙනරල්වරයෙකු ඉදිරිපත් කිරීමට සර්බියාව අපොහොසත් වූ බව අධිකරණය සොයා ගත්තේ ය.
ICJ හි නීති කටයුතු සම්බන්ධ ලිපිකරුවෙකු ලෙස සේවය කළ බෙකර් පවසන්නේ රාජ්‍යයක “ජන සංහාරක චේතනාව” සනාථ කිරීමේදී අධිකරණය දැඩි ලෙස සාක්ෂි සලකා බලන බව ය.
ඊශ්‍රායල-ගාසා යුද්ධය යනු කුමක් ද?
ගැටුම ඔඩු දුවා ගියේ, 2023 ඔක්තෝබර 7 වන දින හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් අනවසරයෙන් ඇතුළු වී ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් මරා දමා ප්‍රාණ ඇපකරුවන් 200කට වැඩි පිරිසක් රැගෙන යාමත් ද සමග ය.
එතැන් පටන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර, ගොඩබිම් ආක්‍රමණයක් ද දියත් කර ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කරන ලෙස පලස්තීනුවන්ට නියෝග කළේ ය. ඔවුන් ආහාර සහ ඉන්ධන බෙදා හැරීම ද සීමා කර ඇත.
හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, මේ වන විට 25,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් බව ය.
ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර බලවත් රාජ්‍යයන් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකයි.
2024 ජනවාරි 11 සහ 12 සිදුවූයේ කුමක් ද?
දකුණු අප්‍රිකාව ද ICJ වෙතින් තාවකාලිකව හෝ අතුරු පියවරක් ගන්නා ලෙස ඉල්ලා නඩුවක් ගොනු කර ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ගාසා තීරය තුළ සියලු ම ආකාරයේ මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන ලෙස ඊශ්‍රායලයට නියෝග කිරීම ය. එය අනෙක් සියල්ලන්ට ම පෙර එය විභාගයට ගැනෙනු ඇත.
“මේ අදියරේදී ජන සංහාරයක් සිද්ධ වුණා ද කියන එක හොයන එක නෙමෙයි අරමුණ,” මැකින්ටයර් පවසයි. “ඉතා ප්‍රබල සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. අහන්න පුළුවන් ප්‍රශ්නය තමයි, ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවීමට අවස්ථාවක් තිබේ ද යන්න යි.”
දකුණු අප්‍රිකාව තර්ක කරන්නේ, කාලය තීරණාත්මක සාධකයක් වන “ජන සංහාරයක් සිදුවන බවට බලවත් අවදානමක්” පවතී යන්න බව මැකින්ටයර් තවදුරටත් සඳහන් කරයි.
2022 පෙබරවාරි 24 වන දින රුසියාව විසින් ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු යුක්රේනය ද එවැනි ම ආකාරයේ නඩුවක් ගොනු කළ අතර ඉන් සති කිහිපයකට පසු සිය හමුදා මෙහෙයුම නතර කරන ලෙස ICJ රුසියාවට නියෝග කළේ ය. කෙසේ වෙතත්, රුසියානු රජය මෙය නොසලකා හැරියේ ය.
ජනවාරි අග වන විට ICJ විසින් සිය තීන්දුව ලබා දෙනු ඇතැයි මැකින්ටයර් අපේක්ෂා කරයි.
“ඒ වගේ තීරණයක් ඊශ්‍රායලය මත පීඩනයක් ඇති කරාවි,” යැයි මැකින්ටයර් පවසන නමුත් එය අවසානය නොවන බව ත්, ICJ වෙත එය බලාත්මක කිරීමට ක්‍රමයක් නොමැති බව ත් පවසයි.
“පස්සෙ අධිකරණයට පුළුවන් නඩු විභාගයේදී ඉදිරිපත් වුණු සාක්ෂි සහ තර්ක හොඳින් සමාලෝචනය කරලා, සංහාරයක් සිදු වුණා ද නැද්ද කියන එක හොයා ගන්න.
බෙකර් පවසන්නේ, රුසියාවට එරෙහිව ICJ විසින් ලබා දෙන ලද අතුරු තීන්දුව “සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් වූයේ” එය රුසියාවට සිය යුද්ධ ව්‍යාපාරය නතර කරන ලෙසට අධිකරණය නියෝග කිරීමට තරම් දුරදිග ගිය නිසා බව ය.
“මට ටිකක් සැකයි අධිකරණය ඊශ්‍රායලයට නවත්වන්න කියාවි ද කියන එක ගැන,” යැයි ඔහු පවසන්නේ, ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම “සීමා” කරන ලෙස අධිකරණය ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දෙමිනි.
“ඒ හැමදේකින් ම අදහස් කරන්නේ ඊශ්‍රායලය දැනට ම ත් පිළිපදින්න බැඳිලා ඉන්න ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුව කටයුතු කරන්න ඕනේ කියන එක,” ඔහු තවදුරටත් පවසයි.
ICJ හි අනෙකුත් ජන සංහාර නඩු ගැන කුමක් කිව හැකි ද?
මැකින්ටයර් පවසන්නේ, වඩා ත් ම වලංගු සැසඳීම මියන්මාරයට එරෙහි ගැම්බියාවේ ජන සංහාර නඩුව බව ය.
ගාසා තීරයේ පලස්තීනුවන්ට සහ රෝහින්ග්‍යා ජනතාවට ඔවුන් ජාතික රාජ්‍යයන් නොවන බැවින් ICJ වෙත ප්‍රවේශ විය නොහැකි නිසා වෙනත් රටවල් ඔවුන් වෙනුවෙන් එය සිදු කරනු ලබයි.
මුස්ලිම් රටවල් වෙනුවෙන් ගැම්බියාව, මියන්මාරයට චෝදනා කළේ, 2017 වසරේදී බංග්ලාදේශයට පළා යාමට මිලියනයකට පමණ බල කිරීමෙන් පසුව රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කළ බව පවසමිනි.
2023 අගභාගයේදී, කැනඩාව සමග එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය නඩුවට සම්බන්ධ වීමට ඉල්ලුම් කළේ, ඔවුන්ට නීති තර්ක ඉදිරිපත් කළ හැකි බව අදහස් කරමිනි.
“ඒක ලෝකයට සහ අධිකරණයට දෙන සංඥාවක්, ගන්න ක්‍රියාමාර්ගයකට ඔවුන් සහය දෙනවා කියන,” යැයි මැකින්ටයර් පවසයි.
ICJ හිදී යුක්රේනයට සහය ලබා දීමට බටහිර රටවල් ද එවැනි ම පියවරක් ගත්තේ ය.
නමුත් මැකින්ටයර්ට හැඟෙන්නේ, බටහිර රාජ්‍යයන් බොහෝ දුරට මෙම නඩුවට සම්බන්ධ වීමෙන් වැළකී සිටිනු ඇති බව ය.
“දකුණු අප්‍රිකාවට සහය දක්වන්න බටහිර රාජ්‍යයන්වල මැදිහත් වීමක් අපිට දකින්න වෙන එකක් නැහැ,” ඇය පවසයි.
“ප්‍රශ්නය තමයි අරාබි රාජ්‍යයන්වල මැදිහත්වීමක් හරි අපිට දකින්න ලැබේවි ද කියන එක.”
අපට අවසාන තීන්දුවක් බලාපොරොත්තු විය හැක්කේ කවදා ද?
ගැම්බියාව සිය නඩුව 2019 නොවැම්බරයේ ගොනු කළ නමුත් එහි මූලික කරුණු පිළිබඳ විභාගයක් තවමත් සිදු වී නොමැත. අවසාන විනිශ්චයක් ලබා දීම සඳහා වසර ගණනාවක් ගත විය හැකි ය.
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කර ඇති බව ICJ විසින් සොයා ගනු ලැබුවහොත්, එය පසුව ICC හි ඕනෑ ම තනි පුද්ගල අපරාධ නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස භාවිත කළ හැකි බව මැකින්ටයර් පවසයි.
ඊශ්‍රායලයට එරෙහි ගනු ලබන එවැනි තීන්දුවක් වෙනත් රටවලට, විශේෂයෙන් ම ඊශ්‍රායලයේ ආධාරකරුවන්ට, ටෙල් අවිව් සමග ඇති සබඳතා ගැන යළි සලකා බැලීමට පීඩනයක් එල්ල කරනු ඇති බවට මෙම නීති විශාරදයන් දෙදෙනගේ පොදු මතයයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපදය දැනටමත් දකුණු අප්‍රිකාව විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවට එරෙහි තම දැඩි ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර, ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ, එය “වලංගු සාක්ෂි රහිත” සහ “මුළුමනින් ම කිසිදු පදනමක් නොමැති” නඩුවක් බව ය.