ඊශ්‍රායල හමුදා ‘කැබැල්ලෙන් කැබැල්ල’ ගාසා ප්‍රදේශ හිස් කරයි

0
ඊශ්‍රායල හමුදා

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු ප්‍රදේශය වන බෙයිට් හැනූන් වෙත අවධානය යොමු කරන බවක් මෙන් ම එතැන් සිට මදක් දකුණු දෙසට තම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට තිබේ.

මා සිටින්නේ, ගාසා තීරයට ඉහළින් පිහිටි ඊශ්‍රායල දේශසීමා නගරය වන ස්ඩෙරෝට්හි ය.

ගාසා තීරය වෙත අඛණ්ඩව දරුණු කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙමින් පවතී.

මේ අසළ සිටින ඊශ්‍රායල බළඇණිය විනාඩියකට කිහිප වරක් ප්‍රහාර එල්ල කරයි.

බොහෝ සිවිල් වැසියන් නගරය අතහැර ගොස් හෝ ඉන් ඉවත් කර තිබේ.

ඊශ්‍රායල යුද්ධ හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තමන් මෙහෙයුම්වල ත්‍රීවතාවය වැඩි කර ඇති බවයි.

සෙනසුරාදා උදෑසන ගාසා තීරයෙන් නිකුත් වූ වීඩියෝවෙන් සහ සිකුරාදා රාත්‍රියේ දේශසීමා ප්‍රදේශය දිගේ දැකගත හැකි වූ දෙයින් අප දුටුවේ, නොනවත්වා එල්ල විය හැකි මහා පරිමාණයේ බෝම්බ හෙළීම් පිළිබඳ සාක්ෂි ය.

නමුත් සන්නිවේදන සබඳතා බිඳ වැටීම යනු, සිදුවන්නේ කුමක් ද යන්න නිශ්චිතව සොයා ගැනීම ඉතා අපහසු කරන්නකි.

නිදසුනක් වශයෙන්, දකුණේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලය සමග චන්ද්‍රිකා දුරකතනයකින් සන්නිවේදනය කළ හැකි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු හා මම කතා කළෙමි. නමුත් අභ්‍යන්තර සන්නිවේදන කටයුතු සිදු නොවීම හේතුවෙන්, මේ වින විට සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති ආධාර මෙහෙයුම් කටයුතු සිදු කරන ප්‍රාදේශීය කාර්යාල සමග සම්බන්ධ වීමට පවා ඔවුන්ට නොහැකි ව ඇත.

බෝම්බ හෙළීම් උතුරු ප්‍රදේශය කෙරෙහි බොහෝ සෙයින් අවධානය යොමු කර ඇති පසුබිමක, ගාසා තීරය දිගින් කිලෝමීටර 45ක් (සැතපුම් 28ක්) පමණක් වන බැවින් ඒ අවට සැතපුම් ගණනක් පුරාවට සහ නිසැකව ම ප්‍රදේශය මුළුල්ලෙහි ම පිපිරුම්වල තරම ඔබට ඇසෙනු ඇත.

මට වැටහෙන පරිදි, ඊශ්‍රායල හමුදාව බොහෝ විට උමං ‘අතුගා දැමීමට’ උත්සාහ කරනු ඇත. ඇතැම් විට ගුවන් හමුදා ප්‍රහාර සඳහා ඉලක්ක සොයා ගැනීමට විශේෂ බළකායන්ගේ සහය ඇතිව එය සිදු කරනු ඇත.

යුද්ධ ටැංකි දිවා කාලයේදී වඩා ත් අවදානමට ලක් විය හැකි බැවින් ඒවායින් සමහරක් වෙනත් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කළ හැකි ය.

ඊශ්‍රායල හමුදා

නමුත් මේ දක්වා අපට කිව හැක්කේ, එය තවමත් සිදුවෙමින් පවතින බව ය.

එය ගොඩබිම් ප්‍රහාරයක් ද? මේ සියල්ලේ නිර්වචන කෙරෙහි අප ඕනෑවට වඩා අවදානය යොමු කළ යුතු යැයි මම නොසිතමි. මිලිටරි ශක්තිය ඉහළ දැමූ අවස්ථාවේ, එනම්, 300,000කට අධික භට සංචිත ගණනක් රැස් වූ විට, ගාසා තීරය තුළ සෑම දිශාවකින් ම පාහේ සිදුවන ආක්‍රමණයක් දකිනු ඇතැයි අපි සිතුවෙමු.

මට හැඟෙන පරිදි ඔවුන් සිදුකරනු ඇත්තේ ‘කැබැල්ලෙන් කැබැල්ල’ ගාසා තීරයේ ප්‍රදේශ හිස් කිරීමය.ඊශ්‍රායල හමුදාව පළ කළ අදහස්වල ස්වරයෙන් මට හැඟී ගියේ, ඔවුන්ගේ අවධාරණය, අඛණ්ඩව ගාසා වෙත ගමන් කිරීමත් මෙය “පළිගැනීමක්” බව ත් ය.

ඔබට මෙය ඉතා පුළුල් වැටලීමක් හෝ ගොඩබිම් ප්‍රහාරයක් ලෙස හැඳින්විය හැකි යැයි මට සිතෙයි. එය නිසැකව ම ඉතා විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමකි.

ගොඩබිම ඔස්සේ ඊශ්‍රායලය ඉදිරියට ඇදී යාමෙන් පලස්තීන සිවිල් වැසියන් ඝාතනය වීම ද නියත වශයෙන් ම සිදු වනු ඇත.

ඔවුන් වැඩි වැඩියෙන් පලස්තීනුවන් මරා දමන තරමට මැද පෙරදිග වෙනත් තැන්වල, ඊශ්‍රායලයට හිතවත් රටවල මෙන් ම ඔවුන්ගේ සතුරන් තුළ ඇති කෝපය ඉහළ යාම සිදු වේ.

යුද්ධය පැතිර යනු ඇති බවට එයින් සහතිකයක් නොලැබේ. නමුත් එය දැනටමත් අවදානම් තත්ත්වයක ඇති කලාපයක අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාව ඉහළ දමයි.

BBC News