පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

0
Schools Closing Dates for Exams - පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා මෙම වසර සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි 22 වැනි දින පැවැත්වීමට දින නියම කර ඇති බව වාර්තා වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 07 වැනි දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මැයි මස 23 සිට ජුනි මස 01 වැනි දින තෙක්.

පාසල් විවෘත කිරීමෙන් පසු 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශ ලබාදීම පිළිබඳ නිකුත් කර ඇති අංක ED/01/44/01/01-2 හා 2021 නොවැම්බර් මස 09 වැනි දිනැති ලිපිය මෙම නිවේදනය මගින් අවලංගු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඒ අනුව උක්ත පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ ආවරණය සඳහා ප්‍රමාණවත් කාලයක් පවතින බැවින්,එම විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමත්‍යාංශය විසින් අදාළ පාසල් ගුරුවරුන්ට අවධාරණය කර සිටින්නේ.

මේ අතර, 2022 වර්ෂය සඳහා නව පාසල් ආරම්භය දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් ද මේ සමග අධ්‍යාපන ආමාත්‍ත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 වසරේ එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා නත්තල් නිවාඩු දිනය ලෙස දක්වා ඇත්තේ, 2021 දෙසැම්බර් මස 23 වැනි දින වන අතර නත්තල් නිවාඩුවෙන් පසු යළි පාසල් ඇරඹෙන්නේ, දෙසැම්බර් මස 27 වැනි දිනයි.

2021 උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා 2022 පෙබරවාරි මස 03 වැනි දින සියලුම පාසල් සඳහා නිවාඩු හිමි වන අතර, එහෙත් මෙම උසස් පෙළ විභාග කටයුතු පැවැත්වීමේ දී දිවයිනේ පිහිටි කිසිදු ප්‍රාථමික ශ්‍රේණියක් සඳහා නිවාඩු ලබා නොදීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

2022 මාර්තු මස 07 වැනි දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම දිවයිනේ සියලුම සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එනම් 2021 වර්ෂය සඳහා සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා පාසල් වාරය අවසන් කෙරෙනුයේ 2022 අප්‍රේල් මස 08 වැනි දින වන අතර, එහිදී 2022 අප්‍රේල් මස 09 සිට 2022 අප්‍රේල් මස 17 තෙක් නිවාඩු සමය පාසල් දරුවන් හට හිමිවනවා.

2022 වර්ෂයේ සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා නව පාසල් වාරය ඇරඹෙන්නේ 2022 අප්‍රේල් මස 18 දින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

දිවයිනේ පිහිටි සියලුම මුස්ලිම් පාසල්වල 2021 වර්ෂයට අදාළව පාසල් වාරයන් අවසන් කිරීම 2022 අප්‍රේල් මස 01 වනි දින සිදු කෙරෙන අතර, 2022 අප්‍රේල් 02 සිට මැයි මස 03 තෙක් එම පාසල් සඳහා හිමි රාමසාන් උත්සවයට නිවාඩු ලැබෙනු ඇති.

2022 වර්ෂය සඳහා මුස්ලිම් පාසල් සඳහා නව පාසල් වාරය ඇරඹෙන්නේ, 2022 මැයි 04 දින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙහිදී 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන වර්ෂය 2022 අප්‍රේල් මස 18 දිනෙන් අවසන් වීමට ද නියමිතයි.

එසේ වුව ද එම දරුවන් සඳහා සම්මන්ත්‍රණ හෝ වෙනත් විකල්ප ක්‍රම මගින් වැඩිදුර විෂය කරුණු ඉගැන්වීම හෝ පුනරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වල විදුහල්පතිවරු ප්‍රමුඛ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

2022 වර්ෂයේ පාසල් වාර සටහන ඉදිරියේදී නිකුත් කෙරෙන අතර, මෙම දිනවකවානු පිළිබඳ පැන නගින ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ තීරණය අවසන් තීරණය වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.