ශිෂ්‍යත්ව , සාමාන්‍ය පෙළ , උසස් පෙළ තුනෙන් දෙකක් අහෝසි යි

0

තුනෙන් දෙකක් අහෝසි

අපේ රටේ ජාතික මට්ටමින් පැවැත්වෙන ප්‍රධාන විභාග තුනකි. ඒ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ යන විභාග තුනය. මෙම තරග විභාග තුනෙන් දෙකක් අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුව සොයා බලමින් සිටින බව වාර්තා වේ. 

ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අහෝසි කර වෙනත් විභාග ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව සොයා බලමින් සිටී. අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවේ සහ එම කමිටුවට සහය වීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ අවධානය යොමුව තිබේ. බොහෝ දරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හෝ ඇතැම් අය ඊට පෙර හෝ පාසලෙන් සමුගන්නා බව පෙනෙන්නට තිබේ. එබැවින් දරුවන් වසර 13ක කාලයක් පාසල් අධ්‍යාපනයේ රඳවා තබාගැනීමට කටයුතු කළ යුතුය යන්න පිළිබඳවද විශේෂඥ කමිටුවේ අවධානය යොමු වී ඇත. අපොස සාමාන්‍ය පෙළ සහ 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය හා පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර 5ක් ඔස්සේ සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කළ යුතු බවට මතයක් කාලයක සිට පැවතිණි. 2019 වසරේ එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාද ප්‍රකාශ කර සිටියේ එම විභාගය අවලංගු කළ යුතු බවටය. එවක අධ්‍යාපන ඇමැතිවරයා වූ අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධව සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවයි. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් යළි එම කටයුත්තට අතගසා තිබේ. ඒ අනුව ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අහෝසි කර නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇත.

මෙම විභාග දෙක අහෝසි කිරීම කෙතරම් දුරකට වැදගත් වේදැයි අප විමසා සිටියේ ලංකා ගුරු සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙනි. ඔහු සඳහන් කළේ විභාග දෙක අහෝසි කිරීමෙන් පමණක් රටේ අධාපනය මහුණ දී සිටින අර්බුදයට විසඳුමක් නොලැබෙන හෙයින් සමස්ත අධ්‍යාප ක්‍රමවේදයම වෙනස් විය යුතු බවටය.

”විභාග විතරක් වෙනස් කරල අධ්‍යාපන අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. සමස්ත අධ්‍යාපන ක්‍රමයම වෙනස් විය යුතුයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ගේ දක්ෂතා ඉස්මතු වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ දක්ෂ දරුවත්, අදක්ෂ දරුවන් ඔක්කොම එකම විභාගයට හුරු කරවන තරගයක්. හරියට රේස් එකක්. වගේ ඔක්කොම එකට දාල දුවවනවා. උසස් පෙළට යන්න සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ භාෂාව ඇතුළුව විෂයන් හයක් සම්මාන තුනක් එක්ක පාස් වෙන්න ඕන. ගණිතයට දක්ෂ නැති දරුවො වෙනත් අංශයකින් දක්ෂතා පෙන්වන්න පුළුවන්. ගණිතයට දක්ෂ නැහැ කියන්නේ ඉගෙන ගන්න අදක්ෂයෙක් කියන එක නෙමෙයි. ඒ දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන එම දක්ෂතා තුළින් ඉහළට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ  තියෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.

මේක වෙනස් කළ යුතුබව පවසමින් ගෙන එන ලද ප්‍රතිසංස්කරණවලින් සිදු වී තිබෙන්නේ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් අර්බුදයට ලක්වීමයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන් දැඩි පීඩනයකට පත් වෙලා. උදාහරණයක් විදිහට පසුගියදා අවසන් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් හැසිරී තිබූ ආකාරය අපි සමාජ මාධ්‍යවලින් දැක්කා. ඒ ඔවුන්ගේ පීඩනය පිට කළ  ආකාරයයි. ඒවාට දරුවන්ට චෝදනා එල්ල කරනවා වෙනුවට ඔවුන් එසේ කළේ මන්දැයි කියා සොයා බැලිය යුතුයි. මේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට පීඩාවක්. එයින් දරුවන් මුදා ගැනීම සඳහා නව ක්‍රමයක් අවශ්‍යයි. ඒ අලුත් ක්‍රමය කියන්නේ 5 ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ අහෝසි කොට වෙනත් ක්‍රමයක් හඳුන්වා දීම පමණක් නොවෙයි. සමස්ත අධ්‍යාපන පද්ධතියේම මුල සිට අග දක්වා. දැවැන්ත ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුයි. එසේ නොකර විභාග පමණක් ඉවත් කළහොත් අධ්‍යාපන ක්‍රමය තවත් අර්බුදයට යාවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ 2023 ජනවාරියේ සිට අධයාපන ක්‍රමයේ යම් යම් ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ආචාර්ය සේදරහෙට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ යෝජනා ගෙන ආවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විශාල වියදමකුත් දැරුවා. එය මේ වන විට සම්පූර්ණයෙන්ම අතහැරලා. විවිධ ආණ්ඩු එන එන පාරට විවිධ පුද්ගලයන් ලවා විවිධ යෝජනා ගෙන එනවා. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව තනි තනි පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව සෙල්ලම් කරන්න බැහැ. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියකුත් නැහැ, සැලැස්මකුත් නැහැ එක එක පුද්ගලයාට අවශ්‍ය දේ කරන්න යෑමෙන් වෙන්නේ අධ්‍යාපනය තව තවත් අර්බුදයට යෑම පමණයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ෆින්ලන්තය, ජපානය, ඩෙන්මාර්කය  වැනි රටවල පවතින අධ්‍යාපන ක්‍රමය අනුව  සිව්වැනි වසර දක්වා දරුවන්ට ස්වභාව ධර්මය සමඟ නිදහසේ කටයුතු කිරීමට අවකාශ සලසා ඇති අතර පොත් පැන්සල් භාවිතයට හුරු කරන්නේ ඉන් පසුව බවත්, පරිසරය තුළින් දරුවන්ට ඉගෙන ගන්නට එම අධ්‍යාපන ක්‍රම තුළින් හැකිවන බවත්, ශ්‍රී ලංකාවේ දරුවන් කුඩා කාලයේ සිටම තරගයට සූදානම් කිරීම දරුවන්ට කරන හානියක් බවත් 30 වසරකට අධික කාලයක් ගුරුවෘත්තියේ නිරත කොළඹ කාන්තා විද්‍යාලයේ ගුරුවරියක වන ඉලේන් ප්‍රනාති ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි.

”පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවා සාමාන්‍යයෙන් අවුරුදු 10ක පමණ වයසේ කෙනෙක්. එවැනි වයසක දරුවකුට තරග විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික මට්ටමක් තිබෙනවාද යන්න සිතා බැලිය යුතුයි. එවැනි දරුවකු විභාගයට සූදානම් කරන විට ඇතිවන තරගයත් සමඟ එන පීඩාවකටත් ඒ දරුවා මුහුණ දෙනවා. දරුවකුගේ බුද්ධිය වර්ධනය වන්නේ අවුරුදු 12ත් 13ක් සම්පූර්ණ වුණාට පසුවයි. පහේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවන්ගේ විභාගයකට වඩා මවුපියන්ගේ විභාගයක්. බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ තම දරුවා හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමයි. ඒ නිසා මවුපියන් දරුවන් පීඩනයකට පත් කරනවා. එවැනි විභාගයක් ඉලක්ක කර දරුවන්ට පටවන වැඩ ප්‍රමාණය වැඩියි.

වර්තමානයේ පවතින තරගය නිසා පොඩි දරුවන් පවා අමතර පන්තිවලට යොමුකරන බව පේනවා. එවිට දරුවන්ට සෙල්ලම් කරන්නවත් වෙලාවක් නැහැ. පාසල් ගොස් ගෙදර පැමිණ යළි අමතර පන්තිවලට සහභාගි වන්නට දරුවාට සිදුවනවා. ඉන් සිදුවන්නේ ඔවුන්ගේ ළමා කාලය උදුරා ගැනීමක්. පහේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස සා පෙළ විභාගය අහෝසි කිරීම වැදගත් කියලයි මම හිතන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ අවුරුදු 14ක් 15ක් වැනි වයස් කාණ්ඩවල දරුවන්. එය කඩඉම් විභාගයක් නිසා දරුවන්ට පීඩනයක් ඇති වෙනවා. ආර්ථික අර්බුද හේතුවෙන් ඇතැම්  දරුවන් අපොස සා පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යනවාට වඩා කුමන හෝ වෘත්තියක නිරත. වනවා. යෝජිත නව ප්‍රතිසංස්කරණ තුළින් දරුවා 13 වසර වන තෙක්ම පාසලේ රඳවා ගන්නවා. එය වැදගත්. බටහිර රටවල දරුවන්ට සෑම විෂයක් සම්බන්ධයෙන්ම පොතේ දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුමකුත් ලබා දෙනවා. අපේ රටේ එවැනි ක්‍රමයක් නැහැ. විභාග අරමුණු කරගෙන උගන්වන ක්‍රමවේදයක් තියෙන්නේ. විභාග අහෝසි කරනවා වගේම පවතින අධ්‍යාපන ක්‍රමයත් සහමුලින්ම වෙනස් කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළාය.

විසි එක්වැනි සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නඟන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ කාලයක සිට සාකච්ඡාවට බඳුන් වූවකි. වර්ෂ 2010දී ලෝක බැංකු ආධාර යටතේ ජාතික අධ්‍යාපන කොමිසම මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු පිළිබඳව සොයා බැලීමක් සිදුවිය. එම අධ්‍යයනය මගින්  විෂය මාලා සහ විභාගය අතර විශාල පරතරයක් පවතින බව පෙන්වා දෙනු ලැබිණි. බලයට පත්වන සෑම රජයක් මෙරට අධ්‍යාපන ක්‍රමය විශාල පරිවර්තනයකට ලක් විය යුතු බවට ප්‍රකාශ කළද තවමත් නිවැරදි දිශාවකට යොමු වී නොතිබීම කනගාටුවට කරුණකි. රටේ අනාගතය දරු පරපුර බැවින් ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණකි.

 – ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා