මෘදුකාංග ශිල්පියෙකුගෙන් උසාවියට පෙත්සමක්

0
මෘදුකාංග ශිල්පියෙකුගෙන් උසාවියට පෙත්සමක්
කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට රජය ගත් තීරණය මුහුණු පොත මගින් විවේචනය කිරීම නිසා තමා නිකරුණේ අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දු කරන ලෙසත්, ඊට වගකිවයුතු පොලිසියෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා පිළියන්දල මඩපාත පදිංචි වීරරත්න රන්මල් නමැති අය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

පෙත්සමේ සඳහන් අන්දමට ඔහු අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ 2020 නොවැ. 18 වැනිදාය. පසුදින උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැර තිබේ.

2020 නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ කළ දැනුම් දීමකට අනුව පසුදින එහි ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

භක්තිමත් කතෝලිකයකු වන තමා කොවිඩ් රෝගයෙන් මියයන අයගේ මළසිරුරු ආදාහනය කිරීමේ ක්‍රියාවලිය දැඩිව විවේචනය කළ අයකු බවත් රජයට මෙන්ම එම ක්‍රියාවලියට විරුද්ධව සටහන් රැසක් මුහුණු ​පොතේ තැබූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මෘදුකාංග සංවර්ධකයකු වන තමාට මුහුණු ​​පොතට ඇතුල්වීමට තිබූ පරිගණක උපාංග අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවත්, ඒවා තවමත් නොලැබුණු බවත් පෙත්සමෙන් කියා සිටින පෙත්සම්කරු ඒවා තමාට බාර දෙන ලෙසට එම දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කරන්නැයිද ඉල්ලා සිටී.