විස්සයි විස්ස පළමු ජය දකුණු අප්‍රිකානුවන්ට

0
SL vs SA 1st T20 - විස්සයි විස්ස පළමු ජය දකුණු අප්‍රිකානුවන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 28ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ලකුණු 164ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සඳහා පන්දුවාර පහයි පන්දු පහක් තුළදී ලකුණු 34ක් රැස්කළා.

එම සම්බන්ධතාව බිඳ වැටුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඔන්රිච් නොයාගේ සුපිරි පන්දු රැකීමේ දක්ෂතා හමුවේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11ට දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ ඔහු මුහුණ දුන් පළමු පන්දුවටම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ භානුක මෙලෙස අඛණ්ඩව ලකුණු නොලබා දැවී ගියේ තුන්වැනි වතාවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 68ක් ව තිබියදී බිඳවැටෙනවා.

තබ්‍රේස් ෂම්සිගේ පන්දු හමුවේ දැවී යන්නේ ලකුණු හයක් ලබා සිටි චරිත් අසලංකයි.

තරමක පීඩනයකින් පන්දුවට පහරදුන් චරිත් සිය ලකුණු හය ලබා ගැනීම සඳහා පන්දු 19ක් වැය කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස නායක දසුන් ශානක ලකුණු 16කට දැවී ගියේ මුළ මුළු ලකුණු සංඛ්‍යාව 95ක්ව තිබියදීයි.

ඔහු දවී ගියේ බියොන් ෆොටියුන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් පන්දුවාරයකට ලකුණු 13කට ආසන්න වේගයක් රඳවා ගත යුතුව තිබුණා.

එක් අන්තයක දිනේෂ් චන්දිමාල් හුදකලා සටනක නිරත වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් අන්තය බිඳවැටුනා.

පස්වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි වනිදු හසරංග ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ඩ්වේයින් ප්‍රිටෝරියස් සමත් වුණා.

ඉන් පසු පිටියට පිවිසි ධනංජය සිල්වාටත් ස්ථාවර වීමට ඔන්රිච් නොයා ඉඩ සැලසුවේ නෑ.

ධනංජය සිල්වා දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි.

ඉන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න දිනේෂ් චන්දිමාල් සමග එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 31ක් එක් කළා.

නමුත් ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ උත්සාහය ප්‍රමාණවත් වුණේ නැහැ.

නියමිත පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 135ක් පමණයි.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පලමු පන්දුවාර විස්ස තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

සිය පන්දුවාර 20 හොඳම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව රැස්කරගත් දිනේෂ් චන්දිමාල් ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 66ක් ලබා සිටියේ හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුලත් කර ගනිමින්.

චාමික කරුණාරත්න පන්දු 14ක් තුළදී ලකුනු 22ක් රැස් කර ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වී තිබුණා.

පන්දු යැවීමේදී සියලුම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ඇති කළ අතර පන්දු යවන්නන් පස් දෙනෙක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබුණා.