සති කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

0
Lockdown Request from GMOA : සති කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්න - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් – ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්තවීමත් රෝහල් පද්දතියේ ධාරිතාව ප්‍රමාණය ඉක්මාව යෑමත් හේතුකොට ගෙන වයිරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා සති කිහිපයකට හෝ රට අගුළු දැමීම (Lockdown) කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉහත කී ආයාචනය අවධාරණය කර සිටී.මේ බැරෑරුම් අවස්ථාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස එම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්නා දෙයි.

මේ අර්බුදකාරී මොහොතේ රටේ ආර්ථිකයට සිදුවන ඍණාත්මක බලපෑම ගැන පමණක් අවධානය යොමු කරමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායී පියවර ගැනීම ප්‍රමාද කිරීම මඟින් රටේ සියලුම ක්‍ෂේත්‍ර තව තවත් අගාධයට යනු ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ අප රටේ ආර්ථිකයට වන හානිය ඉතා දරුණු වනු ඇති බවත් වෛද්‍ය කමල් පෙරේරා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්නා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා නිකුත් කළ එම නිවේදනය මෙසේය.

“වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර දෛනික මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී ඇත. ගෝලීය කොවිඩ් – 19 වසංගතය තුළ අද අප රට, මෙතෙක් මුහුණදුන් ඉතාමත් බැරෑරුම් තත්ත්වයට මුහුණදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත.

එමෙන්ම සත්‍ය ලෙස සමාජයේ සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි බව අපේක්‍ෂා කළ යුතු වේ. එන්නත්කරණය හරහා මරණයට පත්වීමේ අවදානම අඩු වුවද රෝග ව්‍යාප්තිය මේ වන විට ඉතා ශීඝ්‍ර ලෙස සමාජය තුළ සිදුවන බව පැහැදිලිය. ප්‍රමාද වී ඇරැඹුණු එන්නත්කරණ ක්‍රියාවලිය අද වන විට යම් පමණක වේගවත් බවකින් සිදු වුවද එය මීට වඩා කඩිනම් ලෙස හා ඉලක්ක ගතව ඉදිරියට යා යුතුය. එසේම තවදුරටත් වයිරසය ව්‍යාප්තිය සිදුවන ලෙස ජනතාව ඒකරාශී නොවන පරිදි විධිමත් ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය සංවිධානය කළ යුතුය.

මහජනතාවට එන්නත්කරණය හරහා ලැබෙන ආරක්‍ෂාකාරී හැඟීම සමඟම ඔවුන්ගේ අවදානම් හැසිරීම් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අපට තවත් බරපතළ සෞඛ්‍යමය ප්‍රශ්නයකට මුහුණදීමට සිදු වී ඇත. එනම් කුඩා දරුවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම වැඩි වීම සහ රෝගී තත්ත්වය බරපතළ වීමේ ප්‍රවණතාව පෙරට වඩා වැඩි වීමයි. එබැවින් ඉතාමත්ම ඉක්මනින් ලෝකයේ අනෙක් රටවල දරුවන්ට එන්නත්කරණය සිදුකළ ආකාරය ගැන පුළුල්ව අධ්‍යයනයක් සිදුකර අප රටේ දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය කඩිනමින් ආරම්භ කළ යුතුය. කොරෝනා ආසාදනය නිසා සිදුවන ළමා මරණ ඉහළ යෑම අවම කර ගැනීමට එය ඉතා වැදගත් බව අපගේ හැඟීමයි. මේ අවස්ථාවේ කොවිඩ් එන්නත්කරණය රෝග ව්‍යාප්තිය මැඬපැවැත්වෙන ප්‍රශස්ත මට්ටමකට ළඟා වී නැත. එම නිසා එන්නත්කරණය යනු මේ වසංගතය පාලනයේ එක
ප්‍රවේශයක් පමණක් බව දැඩිව අවධාරණය කළ යුතුය. මුව ආවරණය පැලඳීම, දෑත් පිරිසුදු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් රෝග පැතිරීම වළක්වන ක්‍රමවේද තවදුරටත් පිළිපැදීම වසංගතය පාලනය කිරීමේදී අතිශය වැදගත් වේ.

රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති නිසා අසාධ්‍ය නොවන රෝගීන් නිවාසවල තබා සත්කාර කිරීමේ වැඩපිළිවෙළ පුළුල් ලෙස හා විධිමත් ලෙස සංවිධානය කිරීම අත්‍යවශ්‍ය වේ.මේ බැරෑරුම් අවස්ථාවේදී කොරෝනා වයිරස ව්‍යාප්තිය මඬපැවැත් වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස අවධාරණය කරමු. මහජනතාවගේ අවදානම් සහගත හැසිරීම් පාලනය කර වයිරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා මේ අවස්ථවේදී සති කිහිපයකට රට ඇගුළු දැමීම (Lockdown) කළ යුතු බව දැඩිව අවධාරණය කරමු.

මේ බරෑරුම් අවස්ථාවේදී රට අගුළු දැමීම මඟින් දැනට අපගේ සෞඛ්‍ය පද්ධතිය දරාගත නොහැකි ලෙස ශීඝ්‍රව සිදුවන කොරෝනා ව්‍යාප්තිය අඩු කර මරණ සංඛ්‍යාව අවම කර ගත හැකිවනු ඇත. එමඟින් අප රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට කොවිඩ් වසංගතය පාලනය කර ගත හැකි වනු ඇත. මේ අර්බුදකාරී මොහොතේ රටේ ආර්ථිකයට සිදුවන ඍණාත්මක බලපෑම ගැන පමණක් අවධානය යොමු කරමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායී පියවර ගැනීම ප්‍රමාද කිරීම මඟින් රටේ සියලු ක්‍ෂේත්‍රයන් තව තවත් අගාධයට යනු ඇත. එවැනි තත්ත්වයක් තුළ අප රටේ ආර්ථිකයට වන හානිය ඉතා දරුණු වනු ඇත.”

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)