මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

0
Upul Rohana's Statement of Covid19 - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

පරීක්ෂා කිරීම් නිසිලෙස කරන්නේ නම් දෛනික කොවිඩ් ආසාදිතයන් දහස (1000) ඉක්මවා වාර්තාවනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සැලකිය යුතු මට්ටමකින් පැතිර ගොස් ඇති බැවින් හැකි ඉක්මනින් වර්ධක එන්නත් මාත්‍රාවන් ලබාගැනීමට කටයුතු කරන්නැයි සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට කියයි.

කොවිඩ් වර්ධක මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන්නේ නම් මරණ සංඛ්‍යාව සහ සංකූලතාවන් හැකි පමණ අවම කර ගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම පෙන්වාදේ.

මෙම රෝගය දරුවන් අතර ඉතා වේගයෙන් පැතිර යන බැවින් සුළු හෝ රෝග ලක්ෂණයක් පවතින්නේ නම් නිවසේ තබා ගන්නා ලෙස ද උපුල් රෝහණ පැවසීය.

මේ අතර කොවිඩ් රෝගීන් රඳවා තබාගැනීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයන් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී නිරෝධායන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට ද කටයුතු කරන බව විශේෂඥවරයා පැවසීය.

රෝග ලක්ෂණ නොමැතිව රෝගය වේගයෙන් පැතිර යන බැවින් සහ බහුතරයක් දෙනා එන්නත්කරණයට ලක්ව ඇති බැවින් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තබාගැනීම අනවශ්‍ය බව හෙතෙම පැවසීය.

කොවිඩ් රෝගය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයන් ක්‍රියාත්මක නොවූව ද වෙනත් බෝවන රෝගයක් පැන නැගුණහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට නිරෝධායන මධ්‍යස්ථානයන් විවෘතව තබන බව ද වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.