රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයත් සමග අපි එකඟ නෑ

0
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයත් සමග අපි එකඟ නෑ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම තීරණය ගැනීමේදී බලධාරීන් නොසලකා හැරිය වැදගත් කරුණක් ඇති බවය.

“මේ තීරණය ගැනීමේදී ඔවුන් සලකා නොබලපු කාරණයක් තියෙනවා. ඒ නිසා අපි මේ තීරණයත් සමග එකඟ නෑ. රජයේ සේවකයින් එන්නත් ලබාගෙන තිබුණත් ඔවුන් බොහෝ දෙනෙක් ලබාගෙන තියෙන්නේ එක් මාත්‍රාවක් පමණයි. වැදගත්ම කාරණය රාජ්‍ය සේවකයින්ගේ නිවෙස්වල අය එන්නත් ලබාගෙන නොතිබීමයි. රාජ්‍ය සේවකයෝ නැවත නිවෙස්වලට ගියාට පස්සේ මේකෙ බිල්ල බවට පත්වෙන්නේ නිවෙස්වල ඉන්න සමීපතමයින්. ඒ අනුව මේ තීරණය ඉදිරියේදී නරක ප්‍රතිඵල ගෙනදෙයි.”

සියලුම රාජ්‍ය සේවකයින් අද (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කළේය.

ඊට අදාළ චක්‍රලේඛය ද පසුගිය 30 වනදා නිකුත් කර තිබුණි.

මේ අතර රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජේමුණි මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ,

“මේ වනවිට රජයේ සේවකයින් සියලුදෙනාම පාහේ මේ එන්නත ලබාගෙන තියෙනවා. කොළඹ ප්‍රධාන පෙළේ සියලුම ආයතනවලට එන්නත ලබාදීලා තියෙනවා. යම් විදිහකින් මේ එන්නත ලැබිලා නැත්නම් සිය ආයතනයේ ප්‍රධානියා මාර්ගයෙන් අප වෙත ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවයේදී හැකිනම් මුඛ ආවරණ දෙකක් පලඳින්න. අත් පිරිසිදුකාරක දියරයක් තබා ගන්න. ඔබ එන්නත ගත්තත් නොගත්තත් ඒ දේවල් කළ යුතුමයි.”

රාජකාරී සඳහා වාර්තා කරන රජයේ සේවකයින්ට බාධාවකින් තොරව එම ස්ථානවලට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු ආරක්ෂක අංශ විසින් ද සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පළාත් අතර මාර්ග බාධකවලදී රාජ්‍ය සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව පවතින බවද සඳහන් කළේය.