කොළඹ වරායට සේන්දු වූ නෞකාවක නයිට්‍ර්ක් අම්ල කාන්දුවීමක්

0
කොළඹ වරායට සේන්දු වූ නෞකාවක නයිට්‍ර්ක් අම්ල කාන්දුවීමක්

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ මෙම Seaspam Lahore නෞකාවේ තිබූ බහාලුමක කිලෝග්‍රෑම් 40 බැගින් වූ නයිට්‍ර්ක් අම්ල අඩංගු බඳුන් 650 ක ප්‍රමාණයක් අඩංගු විය. එහි නයිට්‍ර්ක් අම්ල අඩංගු වූ බැරල කිහිපයක නයිට්‍ර්ක් අම්ල කාන්දුවීමක් මුන්ද්‍රා වරායෙන් පිටවී පැය 6කට පසු එම නෞකාවේ කපිතාන්වරයා නිරීක්‍ෂණය කර ඇත.

පසුව නැව් නියෝජිත Hapag Llloyd ආයතනය ඒ පිළිබඳව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා හා SAGT පර්යන්තය දැනුවත් කර තිබේ.

අනතුරුව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් සභාපතිතුමා දැණුම්වත් කර, එතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නිවැරදි අධ්‍යයනයකින් පසුව SAGT පර්යන්තයේ සහාය ඇතිව එම බහාලුම් මෙහෙයුම සිදු කර අදාල අනතුරට පත් බහලුවේ අඩංගුවූ පළුදු වූ බැරල වෙන් කොට, හොඳ තත්ත්වයේ ඇති බැරල නිසි ආරක්‍ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් නව බහාලුමක නැවත සකස් කිරීම (Re-work) සිදු කෙරිණි.

කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය මෙවැනි කටයුතු සඳහා ප්‍රශස්ත දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිනිනිවන හමුදාවේ සහ අන්තරායකර නැව්බඩු මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන Hamka Shipping ආයතනයේ දායකත්වයෙන් රසායනික කාන්දුවීමකට ලක් වූ බහලුවේ අන්තර්ගත වූ නයිටි්‍රක් අම්ල අඩංගු බඳුන් ප්‍රතිනැව්ගත කිරීමට කටයුතු සලසන ලදී.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා, දේශීය නැව් නියෝජිත Hapag Llloyd හා පර්යන්ත වෙත නෞකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව නිසි දැනුවත් කිරීම තුළින් Seaspam Lahore නෞකාවේ වූ රසායනික කාන්දුවීම සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකිවීම පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් තමා සතුටට පත්වන බැව් පැවසී ය.

මෙවැනි නිසි පූර්ව දැනුවත් කිරීම් සිදු කළේ නම් මෙයට පෙර ඇසිඩ් කාන්දුව නිසා හානියට පත්වූ නෞකාවේ ඇති වූ ගින්න ද මැඩපැවැත්වීමට හැකිව තිබූ බැව් තමා විශ්වාස කරන බවත් පැවසී ය. බහලුවේ පතුළ තුළින් ඇසිඩ් කාන්දුවීම නිරීක්‍ෂණය නොවී තවත් එක් දිනක් මෙසේ තිබුණේ නම්, අනිවාර්යයෙන් ම අසල තැන්පත් කර තිබූ බහාලුම් වල තිබූ භාණ්ඩ ගිනි ගැනීමේ දැඩි අවදානමක් පැවැති බව ද පැවසීය.

තව ද හාබර් මාස්ටර්වරයා ලෙසින් වරායේ සේවයේ යෙදෙනු විට දී මෙවැනි මෙහෙයුම් කටයුතු සිදුකර ඇති පළපුරුද්ද තුළින් අද දවසේ මෙම රසායනික කාන්දුවීම පහසුවෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත්, හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

මෙම කර්තව්‍යයයට මුහුණ දීමට වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ලබා දුන් ධෛර්යය අගය කොට සලකන බවත්, එසේ ම මෙවැනි ඕනෑම අනතුරක දී නිසි ක්‍රමවේදයන් අනුව දැනුවත් කිරීම් සිදු කළ විට දී වරාය අධිකාරියේ දක්‍ෂ නිළධාරීන්ගේ කාර්යක්‍ෂමතාව හා කැපවීම තුළින් අනතුරු වළක්වා ගැනීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

සිදුවීමට ගිය මෙම විනාශය වළක්වා ගැනීමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ඇතුළු අනෙකුත් නිළධාරී මහතුන් ඇතුළු සේවක මහතුන්ටත්, SAGT පර්යන්තයේ ප්‍රධාන විධායක නිළධාරී රෝමේෂ් ඩේවිඩ් මහතා ඇතුළු නිළධාරීන් හා සේවකමහතුන්ටත්, Hapag Llloyd නැව් සමාගමේ ප්‍රධාන විධායක ලලිත් විතානච්චි මහතා ඇතුළු ආයතනයේ කාර්ය මණ්ඩලයටත් කෘතඥතාවය දක්වන බව සභාපතිවරයා පැවසීය.