නාවිකයන් 6ක් සමඟ කිලෝමීටර 740ක් ගසාගෙන ගිය යාත්‍රාව සොයාගැනේ

0
Missing Ship of Sri Lanka Navy - නාවිකයන් 6ක් සමඟ කිලෝමීටර 740ක් ගසාගෙන ගිය යාත්‍රාව සොයාගැනේ

නාවිකයන් 6 දෙනෙකු සමග අතුරුදන් වූ දකුණු නාවික විධානයට අයත් යාත්‍රාව සමග සන්නිවේදන සබඳතා යළි සක්‍රිය කර ගැනීමට නාවික හමුදාවට හැකිවී තිබෙනවා.

ගිණිකොණ දිග මුහුදු තීරයේදී එම යාත්‍රාව සමඟ සන්නිවේදන සබඳතා යළි සක්‍රියවී ඇති අතර, එහි සිටි නාවික සෙබළුන් හයදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්ෂණ රාජකාරීන් සඳහා මෙම යාත්‍රාව දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ සැප්තැම්බර් 16 වනදායි.

17 වනදා වනවිට එම යාත්‍රාව සමඟ පැවති සබඳතා අක්‍රිය වූයේ දකුණු මුහුදු තීරයේදියි.

පසුව එම යාත්‍රාව සම්බන්ධයෙන් කොළඹ සාගරික සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා අවට රටවල් දැනුවත් කිරීමට ද නාවික හමුදාව පියවර ගත්තා.

පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ කිලෝමීටර 740 ක් පමණ ශ්‍රී ලංකාවට ගිණිකොණ දිශාවෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රාව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් අනතුරුවයි ඊයේ පෙරවරුවේ යළි අදාළ යාත්‍රාව සමඟ සන්නිවේදන සබඳතා සක්‍රියවී ඇත්තේ.

එම යාත්‍රාවේ එන්ජිම අක්‍රියවීමත් සමඟ එහි සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති අතර, පසුව නාවික සෙබළුන් එම එන්ජිම යථා තත්වයට පත් කිරීමෙන් පසු සන්නිවේදන සබඳතා සක්‍රිය වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළා.

එම යාත්‍රාව සෙවීම සඳහා තවත් නැවියන් කිහිපදෙනෙකු රැගත් නාවික හමුදා යාත්‍රාවක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබූ අතර, යාත්‍රා දෙකම අද දිනයේදී දිවයිනට ළඟාවීමට නියමිතයි.