තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව සාගර යළිත් කියයි

0
Sagara kariyawasam - තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව සාගර යළිත් කියයි
මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු අද (16) පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තම අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ මතය සමග තමාත් පක්ෂයත් තවදුරටත් සිටින බවද ඔහු පැවසීය.

“රහස් සාකච්ඡා නෑ. අපි කරන දේවල් ඔක්කොම එළිපිට. මේ රටේ ජනතාව බිහිකරපු ජනතාවගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපි ජනතාව වෙනුවෙන් ගන්න ඕන තීරණ සියල්ල ගන්නවා. නිර්භයව ප්‍රකාශ කරනවා. ඉදිරියටත් එහෙම්මම තමයි. ඒ නිකුත් කරපු ලිපිය සම්බන්ධයෙන් ඒ මතයේ මම අදටත් ඉන්නවා, පක්ෂයත් ඉන්නවා.”

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඉකුත් 12 වනදා නිවේදනයක් නිකුත් කළේය.

ඉන්ධන මිල පසුගිය 11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එය මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ ආණ්ඩුව ගත් තීන්දුවක් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය විසින්ම විවේචනය කර තිබීම හේතුවෙනි.

මේ අතර අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ,

“ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. මට ආඩම්බරයි. ලෝකයේ හිටිය විශිෂ්ටතම යුද විශේෂඥයා විදිහට සලකන චීන ජාතික සුන් ෂූ (Sun Tzu) වරක් ප්‍රකාශ කළා සතුරන් ඔබව වර්ණනා කරයි නම් ඔබ දුර්වලය. සතුරන් ඔබට පහරදෙයි නම් ඔබ සවිමත්ය කියලා. මට පහරදෙන අය මගේ හැකියාව පරීක්ෂාවට ලක්කරනා අතරෙම මම සවිමත් මිනිසෙක් කියන පණිවුඩය මට ලබා දෙනවා. මේ රටේ ජනතාව, සහෝදර මැතිඇමතිවරු, අගමැතිතුමන්, ජනාධිපතිතුමන් මාත් එක්ක කියලා මම දැනගත්තේ සාගර කාරියවසම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්කයි.”