තෙල් මිල වැඩිකලේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ නිර්දේශ මත – ඇමති ගම්මන්පිල (Video)

0
තෙල් මිල වැඩිකලේ

තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ කරුණු පිළිබඳව පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව පැවසීය.

ඒ අනුව සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ තමාට නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ පළමු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් අගමැතිවරයාටත් බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඊට අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් මහතා ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවද ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා සමග ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අදහස් හුවමාරු කරගත් බවත් මෙම මාධ්‍ය හමුව කැඳවීමට පෙර ජනාධිපතිවරයා කෙටි පණිවුඩයක් ද තමාවෙත යොමුකර තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැත්වූ සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව