පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳන ලෙස තමන් පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
(ජුලි 28) හෝමාගම පැවති මහජන රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ඇතිවී තිබෙන ගැටලුව ඉක්මණින් නිරාකරණය කර ගත යුතු බවය.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වැනිදාට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නොමැති බවත්, අදාළ දිනයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවට පැවසු ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝණය වීමට ඉඩ නොතබන බවත් පැවසීය.
“ඇතැම් අය හිතුවා අපට රටක් ලෙස නැවත හිස එසවීමට නොහැකි වනු ඇතියි කියලා. මැතිවරණයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් අපි මැතිවරණය පවත්වනවා.”
“තවත් සමහර අය කිව්වා මම මැතිවරණය කල් දාන්න යනවා කියලා. නමුත් මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම සඳහා මම පළමුවෙන්ම ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.”
“ඇතැම් අය මගෙන් අහනවා මෙම අර්බුදය නිසා මොකක් වෙයිද කියලා.”
“පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා.”
“ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි.”
“බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.”
“ඉන් පසු දින විපක්ෂනායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ.”
“කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා.”
“ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා,
ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා.”
“අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා.”
“මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.”
“ඒ නිසා මම මේ පිළිබඳ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. තවත් නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සියලුදෙනා කිව්වේ අප මේකට විසඳුමක් සෙවිය යුතුයි කියලා. එසේ නොවන්නට එයින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.”
“මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්. පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ.”
“මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි.”
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා.”
“රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.”
“මනුෂ නානායක්කාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි.”
“මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන.”
“නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි.
නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි.”
“පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන.
පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.”
“එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා.”
“පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ.”
“මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ. කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා.”
“ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.”
“දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි.”
“මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යුතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ.”
“මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි.”
“ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.”
“මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා.”
‘අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි’
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.” ජනාධිතිවරයා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ගැන සාකච්ඡා කළ හැකිද ?
ජනාධිපතිවරයා පැවසූ ආකාරයට පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට කතානායකවරයා සහ අග විනිසුරුවරයා සාකච්ජා කර විසඳුමකට පැමිණිය හැකිදැයි බීබීසී සිංහල සේවය නීති විශාරදයින් ගෙන් අදහස් විමසීමක් සිදුකළේය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගයක් ගැන සාකච්ජා කළ නොහැකි බවය.
“එහෙම කතා කරන්න බැහැ. මොකද ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ නඩුවේ වගඋත්තරකරුවන් වෙනවා.”
“වගඋත්තරකරුවන්ට විනිසුරුතුමන්ලා එක්ක කතා කරලා තීන්දු ලබා ගන්න ක්‍රමයක් ලංකාවේ නෙමේ මුළු ලෝකේ කොහෙවත් නැහැ.” ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය පැවසීය.
මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පොලිස් නිලධාරින් ලබා ගැනීම සිදු කළ හැක්කේ පොලිස්පතිවරය හරහා පමණක් බව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය කියා සිටියේ එය ගැටලුවක්ද නැත්ද යන්න තීරණය කළ යුතුව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව බවය.
“ඒක ගැටලුවක් ද නැද්ද කියලා තීරණය කළ යුතුව තියෙන්නේ මැතිවරණ කොමිසමයි.”
“මැතිවරණ කොමිසම කියලා තියෙනවා ඒක ගැටලුවක් නෙමෙයි කියලා. ඉතින් මම හිතන්නේ වෙන කවුරුවත් ඒක ගැටලුවක් කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”
“මොකද මීට පෙර පොලිස් නිලධාරින් ගේ සහය මදිනම් ඒ සඳහා හමුදාවේ සහය ලබා ගෙන තිබෙනවා. ඕනනම් ඒ විදිහටත් කරන්න පුලුවන්.” ඔහු පැවසුවේය.
ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි ද?
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් (ජුලි 26) පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන ලදී.
පොලිස්පති ධුරය හිස්ව නොමැති බවත් තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කළ යුතු බව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කතානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කතානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා” එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේය.
‘පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දාන්න බැහැ’
පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දැමිය නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිරණය පවා අනුගමනය කළ යුත්තේ පවතින නීතිය බවත් අගමැතිවැරයා මෙහිදී ප්‍රකාශ කළේය.
“අද උදේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.”
“එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඈ) වගන්තියට යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලබන්නේ.”
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගයෙන් ධුරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නිත්‍යානුකූලව ඉවත් කිරීම කළ හැක්කේ.”
“පවතින නීතිය අනුව ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න ප්‍රතිපාදන නැහැ. එබැවින් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස වෙන් අයෙකු පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි මේ තත්ත්වය මත.”
“පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දාන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිරණය පවා අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි.”
“ඒ නිසා පොලිස් ආඥා පනත මගින් ඒකි පොලිස් ආඥා පනත යටතේ විධි විධාන පරිපාලනය කිරීම පොලිස්පතිවරයා වෙත පවරා තිබෙනවා.”
“පොලිස්පතිවරයාට තම ධුරයේ රාජකාරි තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයේ සිදුකරන ලබන රාජකාරි කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩබලන පත්වීමක් කළ නොහැකියි.”
“තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පති. ධුරය හිස් වෙලා නැහැ.” අග්‍රාමාත්‍යවරයා පැවසීය.
‘ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය වලංගු නොවේ’
ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව යටතේ පවතින බැවින් එහිදී ගන්නා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය වලංගු නොවන බවත් අගමැතිවරයා පැවසුවේය.
“ව්‍යවස්ථාදායක සභාව තිබෙන්නේ පාර්ලිමේන්තුව යටතේ. පාර්ලිමේන්තුවේ සමගාමීව තිබෙන ව්‍යවස්ථාදායකය. ඒක පාර්ලිමේන්තුවේ දිගුවක්.”
‘ව්‍යවස්ථාදායක සභාවේ තීරණය පාර්ලිමේන්තුවේම කැමැත්ත ප්‍රකාශ කිරීමක්. එම සභාවේ තීරණ පාර්ලිමේන්තුවේ පාලනයට පමණයි යටත් වෙන්නේ. පාර්ලිමේන්තුවට හැර වෙන කිසිඳු ආයතනයකට ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාමාර්ගයන් සහ තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකියි”
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන නිසා එහි කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැකියි”
“පාර්ලිමේන්තුව උත්තරීතරයි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත.”
“ඒ නිසා වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ.”
“පාර්ලිමේන්තුවේ නිර්මාණයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට අධිකරණ බලයක් නොමැත.”
“එබැවින් වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව ක්‍රියාත්මක වීය යුතුයි.”
“මෙම අතුරු තහනම් නියෝගය මගින් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති රාජකාරී කිරීමට බාධා පමුණුවනවා. ඒක අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි.”
“මෙම වාරණ නියෝගය නෛතික පදනමක් දක්වා නොමැති අතර එබැවින් කිසිදු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිමය වාරණ නියෝගයන් පිළිගැනීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ.”
“එවැනි තීන්දු පිළිනොගන්නා අතරම පාර්ලිමේන්තුව උත්තරීතරයි.”
“මීට පෙර සිටි කතානායකවරයෙක් වන අනුර බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ඉහළින් සිට එය පිළිනොගෙන සිටියා.”
“මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
‘ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න’
රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට වැඩ කළ නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවය.
“ශ්‍රේෂ්ඨාධිකරණය තම අතුරු තහනම් නියෝගයේ කියා තිබෙනවා පෙත්සම්කරුවන් සාධනීයව පෙන්වා දී තිබෙනවා කරපු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට පටහැනි ආකාරයට සිදුකර තිබෙනවා කියලා.”
“එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ලබාදීලා තියෙන්නේ පත් කරපු ක්‍රමවේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් තිබෙන නිසයි. ඒ නිසා ඒ පත්කිරීම වලංගු නැහැ.”
“ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ලබා දෙනවා පත් කරපු ක්‍රමවේදයේ දෝෂයක් තිබෙනවා කියලා පත් කරපු පොලිස්පතිවරයාගේ. ඒ අනුව ඔහුට පොලිස්පතිවරයා සතු බලය, ක්‍රියාකාරීත්වය සහ වගකීම ක්‍රියාත්මක කිරීම නතර කර තිබෙනවා.”
“මේ ප්‍රශ්නෙන් ජනාධිපතිවරයාට පැන යන්න බැහැ. ඔහු අදටත් ජනාධිපති. ඔහු අපේක්ෂකයෙක් වුණා කියලා ඔහුගේ ජනාධිපති වගකීම් නතර කරන්න බැහැ. ඔහුගේ වගකීම තමයි පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක අඩුම ගානේ වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ඔහුගෙන් එන්න ඕන. ව්‍යවස්ථා දායක සභාව තමයි ඔව්ද නැද්ද කියන්නේ.”
“දැන් මේ ජනාධිපතිවරයාට පොට වැරදිලා ව්‍යවස්ථාදායක සභාවට කියනවා පත් කිරීම කරන්න කියලා. මේ ඔක්කොම හදන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කරන්න.”
“ජනාධිපතිවරයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න කියන්න. එතකොට වැඩබලන ජනාධිපතිට පුළුවන් නීතියට අනුව කටයුතු කරන්න.” විපක්ෂ නායකවරයා පැවසීය.
‘දැන් තමයි ඔබතුමන්ලට තේරිලා තියෙන්නේ’
2018 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් නියෝගය පිළිගෙන සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වූ බවත් එවිට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ එය පිළිනොගන්නා බවට ප්‍රකාශ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
“2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළුව අපි හිටපු කැබිනට් මණ්ඩලය තහනම් කරන නියෝගය දුන්නම අපි පාර්ලිමෙන්තුවට ඇවිල්ලා කිව්වේ නැහැ අපි ඒක පිළිගන්නේ නැහැ කියලා.”
“විපක්ෂයේ ඉදලා රනිල් වික්‍රමසිංහ කිව්වේ නැහැ මම මේක පිළිගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා. නැවත අගමැති විදිහට රනිල් වික්‍රමසිංහ පත්වුණා.”
“දැන් මේ අවුල ඇතිකරන්න එපා. රටේ ව්‍යවස්ථානුකුල අවුලක් එන තැනට රට තල්ලු කරලා තියෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථානුකුලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා.”
“ඒ අනුව වැඩබලන පත්වීමක් කරන්න ජනාධිපතිවරයාට. ව්‍යවස්ථා දායක සභාවට ඒකට බලයක් නැහැ. ඒ නිසයි ජනාධිපතිවරයා වැඩබලන නීතිපතිවරයෙක් පත් කලේ.”
“ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවට අනුව වැඩකරන්න කියන්න. නැත්නම් ගෙදර ගියාට පස්සේ ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කළා කියලා නඩු වැටෙයි.” මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
‘අධිකරණය හමුවට ගිහිල්ලා තීරණයක් ගන්න’
තීරණය වැරදි නම් අධිකරණය හමුවට ගොස් එය නිවැරදි කර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේය.
“මෙතන සමහර අය කියනවා වැරදි විදිහට තීරණයක් ගත්තේ කියලා. නමුත් මම කියනවා
එහෙම වැරදි ආකාරයෙන් තීරණයක් ගත්තේ නෑ කියලා.”
“ව්‍යවස්ථා දායක සභාවෙන් පත් කරපු නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (සී) වගන්තිය යටතේ වැඩපිළිවලක් තිබෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලයි ඒ කටයුත්ත කරන්න ඕන. එහෙම නැත්නම් ආපහු ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එතනින් මේ තීරණය ගන්න ඕන.”
“දැන් මේක ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මටනම් පේන විදිහට තියෙන්නේ.”
“මම වැරදිනම් උසාවියට ගිහිල්ලා එක ඔබතුමන්ලා නිවැරදි කර ගන්න.” යනුවෙන් කතානායකවරයා පැවසීය.
දැන් පොලිසියට අණ දෙන්නේ කවුද?
වසර 158ක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ ගතවූ වසරක කාලය තුළ වැඩි කතා බහට ලක්වූ මාතෘකාවක් වුයේ පොලිස්පති ධුරය යි.
(ජුලි 24) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන නිලධාරියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.
ඊට හේතුව වන්නේ පොලිස්පති ධුරය පමණක් නොව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව අනිවාර්ය නිවාඩු යවා තිබීම ය.
පොලිස්පති ධුරය දක්වා පැමිණි ගමන් මග
හිටපු පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පත් කෙරුණි.
ඒ, 2023 වසරේ නොවැම්බර් 29 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහාය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා “යුක්තිය” නමින් මෙහෙයුමක් ඉකුත් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ කළේය.
2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ හිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කළේය.
කෙසේවුවත් මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 26 වැනිදාය.
පොලිස්පති ධුරයට පත් කිරීමෙන් අනතුරුව ද දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ රටේ අපරාධ මැඩලීම සඳහා තමා ක්‍රියා කරන බවය.
ඒ අනුව “යුක්තිය” මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වුවද රට පුරා විවිධ ස්ථානවල වෙඩි තැබීමේ සිදුවීම් රැසක් ද වාර්තා විය.
ඒ අතරින් ජුලි මස 8 වෙනිදා අතුරුගිරියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම බොහෝ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් බවට පත්විය.
ව්‍යවස්ථාදායක සභාවට චෝදනා
පොලිස්පති ධුරය සඳහා පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ ආකාරය නීති විරෝධී බවට චෝදනා එල්ල විය.
පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ වූ බවත් තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් ප්‍රකාශ කෙරුණි.
එසේ ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි සාමාජිකයින් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බව නිගමනය කරමින් කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කර තිබුණි.
එලෙස ඡන්දය භාවිත කිරීම නිත්‍යානුකුල නොවන බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත චෝදනා එල්ල විය.
පෙත්සම් සහ වාරණ නියෝගය
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කර තිබුණි.
එහිදී පෙත්සම්කරුවන් කියා තිබුණේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බව ය.
දින 6ක් පුරා පැවති පෙත්සම් විභාගයකින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
‘විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හේතුව’
මේ අතර (ජුලි 24 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණි.
බීබීසී සිංහල කළ විමසීමකදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ජා කිරීමට නොහැකි වූ කැබිනට් පත්‍රිකා කිහිපයක් ගැන සලකා බැලීමට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති බවය.
“ගිය සඳුදා කැබිනට් එකේදී සාකච්ජා කරන්න කාලය මදිවූ කැබිනට් පත්‍රිකා කිහිපයක් ගැන සාකච්ජා කරන්නයි මේ අමාත්‍ය මණ්ඩල රැස්වීම තිබුනේ.”
“පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරලා ඉදිරියේ දී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කරන්න තීරණය කළා.” රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.
පොලිසියට දැන් අණ දෙන්නේ කවුද ?
රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරු දෙක මේ වන වට හිස්ව පැවතින බැවින් එම දෙපාර්තමේන්තුවට අණ දෙන්නේ කවුරුන් ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවය.
“පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යනවා. තවම තනතුරු පිරවීමට නිලධාරින් දෙදෙනෙක් නම් කරලා නැහැ.”
“පුළුවන් තරම් ඉක්මන්ට ඒ තනතුරු පුරවන්න කටයුතු කරනවා.” ලේකම්වරයා පැවසීය.
ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉදිරියෙන් ඉන්න පොලිස් නිලධාරීන් කවුද?
වත්මන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර 15ක් පවතින අතර මේ වන විට ඉන් එක් තනතුරක් පුරප්පාඩු වී තිබේ.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් ජනාධිපතිවරයාට නියම කර සිටියේ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙසය.
ඒ අනුව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් කවුරුන්දැයි බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවගෙන් විමසීමක් කළේය.
“දැනට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව බැලුවම පිළිවෙලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසුරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් සිටිනවා.” ඔහු පැවසුවේය.
පොලිස් කොමිසම තීරණ ගන්න ප්‍රමාද ද?
මේ අතර පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී තිබුණද ජාතික පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ බවට එල්ලවන චෝදනා පිළිබඳ එම කොමිසමෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හැර දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික පොලිස් කොමිසමට බලය පැවරී ඇති බවය.
“පොලිස්පතිවරයා පත් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න බලය තියෙන්නේ ජනාධිපතිතුමාට.”
“ඒ වගේම ජාතික පොලිස් කොමිසම හැටියට පොලිස්පතිවරයා අපට එවන උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් වගේම විනය පරීක්ෂණ වගේම මහජනතාව පොලිසිය සම්බන්ධයෙන් කරන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදුකරනවා.”
“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් 2023 අවුරුද්දේදී ත්‍රිපුද්ගල කමිටුවක් හරහා කරුණු විභාග කළා.”
“ඔහු කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර සිටියා තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නතර කරන්න කියලා ඉල්ලලා. නමුත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමන්න කටයුතු කර සිටියා.”
“ජාතික පොලිස් කොමිසම පස්සේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනය නොකර හිටියේ නැහැ. විවිධ කරුණු තියෙනවා සලකා බලන්න. නමුත් අවසානයේදී ඔහු අනිවාර්ය නිවාඩු යවන්න කටයුතු කළා.”
“ජාතික පොලිස් කොමිසම විසින් මේ විමර්ශනය සිදුකරන ආකාරය ගැන නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වද්දී යම් අතපසුවීමක් වෙලා කියලා පෙනුණා. ඒ සම්බන්ධයෙන් කොමිසම විසින් නීතිපතිතුමාට දැනුම් දීමක් කරන්න කටයුතු කළා.” එම නිලධාරියා පැවසුවේය.
පොලිස්පති පුටුව හිස්වීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් ද?
මේ අතර පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිවීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නේය,
“අධිකරණය මේ ගැන විභාග කරලා දෙනකම් වත්මන් පොලිස්පතිවරයාට ඔහු කලින් දරමින් සිටි තනතුර දරන්නත් පුළුවන්.”
“ඒ එක්කම අපි හිතෙනවා පොලිස්පති ධුරයට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරලා වහාම හෙට සිට එතෙක් නඩුව විභාග කරන තෙක්, සමහර විට පොලිස්පතිවරයෙක් නැතිව වැඩබලන පොලිස්පතිවරයෙක් යටතේ ඡන්ද විමසීම තියන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.
මොකද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ රට ආණ්ඩු කෙරුණා නම්, වැඩ බලන පොලිස්පති කෙනෙක් යටතේ ඡන්දය තියෙන එක මහ දෙයක් නෙමේ.” මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කරනු ලැබීය.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බව ය.
ඒ අනුව අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වනතෙක් වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල විසින් සඳහන් කරනු ලැබීය.
ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නම නීත්‍යානුකූලව අනුමත කර නැහැ’
මෙම පෙත්සම් සලකා බැලීම දින ගණනාවක් තිස්සේ නියමිත අධිකරණ රාජකාරී කාලසීමාව අභිබවා ගොස් පැවැත්වීමට සිදු වූ බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයට ලබා දුන් එම සහයෝගය සම්බන්ධයෙන් සියලු නීතිඥවරුන්ට ස්තුතිය පළ කරන බවත් කියා සිටියේය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා තිබුණේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බව ය.
පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ වූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් සඳහන් කර ඇත.
එසේ ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි සාමාජිකයින් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බව නිගමනය කරමින් කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත වී නොමැති නිසා ඒ මත පදනම්ව ජනාධිපතිවරයා විසින් සිදුකළ එම පත්වීම සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ බල රහිත බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර තිබේ.