සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳගේ අත් බෑගයේ නීති විරෝධී ගිණි අවියක් තවත් වැදගත් සාක්ෂි හෙළිවේ

0
සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ

අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෙඩි වැදුණු වහාම හෝමගම රෝහලට ඇතුලත් කරන ලද අතර ඇයගේ තත්ත්වය මත කළුබෝවිල රෝහලට මාරු කළ යවා තිබේ.

මේ වන විටත් ඇය ප්‍රතිකාර ලබමින් සිටින්නේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.

මේ අතර ඇයගේ අත් බෑගයේ තිබී සොයාගත් ගිනි අවිය නීත්‍යානුකූල නොවන ගිනි අවියක් බව හේතු හෙළි වී ඇත.

ඒ අනුව එ් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් ඇත.

ක්ලබ් වසන්තට වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධව තවත් සාක්ෂි රැසක් හෙළිවේ

සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය එම ස්ථානයේ ආරම්භ කිරීම සඳහා තමන්ට ‘ලොකු පැටී’ නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘ලොකු පැටීගේ’ ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරියුම් කළ නමුත් මෙම ඝාතන සැලැස්ම ගැන දැන නොසිටි බවය.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත 08 උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් වෑන් රථයකින් කඩුවෙල, නවගමුව හරහා පළායන අයුරු දැක්වෙන රූපරාමු පෙළක් ද හමුවී තිබේ.

මේ අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පවසා ඇත්තේ, තමන් ටැටූ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දැඩි කැමැත්තෙන් පසුවූ බවය.

ඒ අනුව ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

එම මුදල ලබාදී ලොකු පැටී නැමැත්තා පවසා ඇත්තේ, එම මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාට ආරාධනා කරන ලෙසය.

ඝාතන සිද්ධිය පිළිබඳ කිසිවක් නොදත් තමන් ඒ අනුව ක්ලබ් වසන්තට මේ සඳහා ආරාධනා කළ බවත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

ඔහුගේ සොයුරාගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සෙසු පිරිස වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ අය බව පොලිසිය පවසයි.

විමර්ශනවලදී මේවන විට අනාවරණ වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවය.

කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හේතුවෙනි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂ‍ාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

ඇයට පැය 4ක පමණ ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් පාදයට දරුණු තුවාල සිදුවී තිබුණි.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳව හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් මේ වන විටත් ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.

මේ අතර ක්ලබ් වසන්තගේ හා කේ. සුජීවාගේ සැමියාගේ දේහයන් අද හෝමාගම රෝහලේදී ඥාතීන් වෙත භර දුනි.

රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ක්ලබ් වසන්තගේ සිරුරේ තිබී උණ්ඩ 8ක් හමුවී තිබේ.

ඉන් තුනක් ඔහුගේ හිසෙහි තිබී සොයාගෙන ඇති අතර අනෙක් උණ්ඩ පහ පපුව් සහ උදරයෙහි තිබි සොයාගනු ලැබීය.

හිසට හා ඉනෙන් ඉහළට වැදුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් ඔහු මියගොස් ඇති බව එහිදී අනාවරණ වී ඇත.

ඔහුගේ දේහය අනතුරුව කොළඹ පිහිටි මල් ශාලාවකට රැගෙනවිත් තිබේ.

මේ අතර කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාගේ සිරුර ඊයේ පස්වරුවේ කේ. සුජීවාගේ දියණියන් විසින් භාරගනු ලැබීය.