” මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු ” ජනතා ඉල්ලීම ප්‍රසන්න හෙළිකරයි

0
මැතිවරණ නොතියා වසරක් දෙකක්

තමන් බලයට පැමිණියහොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරු වන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව  යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවස්න්නේ 88/89 යුගයේදී මිනිසුන් මරමින් ජ.වි.පේ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයේ ඇති බවයි.

අන්තවාදී කණ්ඩායම්වලට බලය ගියහොත් නැවත එවැනි භයංකාර යුගයක් බිහිවනු ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ මෙම කතාව කිසිලෙසකින්වත් විහිළුවට නොගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (8) එක් වෙමිනි.

මිනුවන්ගොඩ , ප්‍රධන බස් නැවතුම්පොළ භූමියේ මෙම කාර්යාලය ඉදිකර තිබේ.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

නගර සංවර්ධනයට ඉඩම් පවරා ගැනීම සිදුකලේ රෙජී රණතුංග හිටපු ඇමතිතුමාගේ කාලයේදී. එදා මේ බස්නැවතුම තිබුණ හැටි, වෙළඳපොළ තිබුණ හැටි ජනතාවට හොඳට මතකයි. මට 94දි බස්නාහිර පළාත් සභාවේ ලැබුණු ඇමතිධූරයට මගී ප්‍රවාහන අධිකාරියත් අයිති වුණා. එදා මේ ආයතනයේ වැටුප් ගෙවන්න අපි මුදල් ලබාගත්තේ මේ ආයතනයෙන්මයි. ඒ කියන්නේ මේ ආයතනය සම්පූර්ණයෙන්ම නඩත්තු වුනේ මේ ආයතනය උපයන මුදලින්මයි. බස්නාහිර පළාතේ බස්හිමියන්ට අඩු පොලීයකට බස්ලබාගන්නත් අපි එදා කටයුතු කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ආසනයේ මුස්ලිම් ජනතාවට විවිධාකාර හිරිහැර එල්ලවෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ වෙළඳාම්වලට බලපෑම් එල්ල වුණා. ඒ වෙනකොට මම හිටියේ විදේශගත වෙලා. ලංකාවට පැමිණි වහාම මම එවකට හිටපු ආණ්ඩුකාරතුමත් එක්ක මෙතනට ඇවිල්ල ඔවුන්ට වෙළඳසැල් ලබාදෙන්න කටයුතු කළා. එදා කඩ ගිනි තියපු ජ.වි.පේ අයම තමයි මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියන්න කටයුතු කළේ. ඒ අයම තමයි අධිකරණය ගමට ගෙනියන්න කතා කරන්නේ.

තමන් බලයට පැමිණියහොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරු වන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටිනව කියන එකයි. 88/89 යුගයේදී මිනිස්සු මරමින් ජ.වි.පෙ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයි.

ඒ යුගයේදි ජනතා විමුක්ති පෙරමුණ නීතිය ගමට ගෙනල්ල අහිංසක මිනිස්සුන්ගේ අත්,කකුල් කැපුවා. අහිංසක මිනිස්සු මැරැවා. ඒ කණ්ඩායම්වලට බලය ගියොත් නැවත ඒ භයංකාර යුගය බිහිවෙනවා. ඒ නිසා මේ කතාව විහිළුවට ගන්න එපා. බලය ගන්න මිනී මරපු අය බලය අරගෙනත් කරන්න හදන්නේ ඒ වැඩපිළිවෙලමයි.

පහුගිය කාලයේ අපි රටක් විදියට හිටියේ ඉතාම නරක තැනක. ඒක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවත්, අපිවත් වග කිවයුතු නෑ. තිස් අවුරුදු යුද්ධයට වැයකළ මුදල් මේ රටේ සංවර්ධනයට යොදවන්න තිබුණ මුදල්. අපි හැමදාම ණයගත්තේ රට සංවර්ධනය කරන්න. අපේ රටේ උපයන හැම මුදලක්ම වැය කලේ යුද්ධයට. නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වු‍නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පමණයි.

ඒ විතරක් නෙමෙයි 71 කැරැල්ල, 83 කළු ජූලිය,88/89 භීෂණය යුගයේදී රාජ්‍ය සම්පත් විනාශ වුණා. ඒවට වියදම් කළේත් රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්. රටේ ආර්ථික අර්බුධයට හේතුව තමයි ඒ. ඒ වගේම පසුකාලීනව ඇතිවුණ සුනාමි ව්‍යවසනය, කොවිඩ් වසංගතය නිසාත් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුණා. බටහිර ලෝකයේ දියුණු රටවල කොරෝනා නිසා මිනිස්සු ලක්ෂයක් මැරෙන කොට අපේ රටේ මැරුණේ මිනිස්සු දහසය දාහයි. අපිට රට වහන්න එපා කියද්දි, අපි මිනිස්සු ගැන හිතල රට වහලා එන්නත් තුනම දීල රට නැවත විවෘත්ත කළා.

අපි මිනිස්සු ගැන හිතල වැඩ කරන කොට අපේ විරුද්ධවාදීන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කළා. ඔවුන් විදේශවලට ගිහිල්ල කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. සංචාරක ව්‍යාපාරය කඩා දමන්න කටයුතු කළා. විශේෂයෙන්ම සංචාරකයන් අරගල තියෙන, කෝළහාල තියෙන රටවලට එන්න කැමති නෑ. ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා. මිනිස්සු සාමකාමී අරගලයක් පටන් ගත්තා. නමුත් විපක්ෂය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහිල්ලා ආර්ථික අර්බුධයෙන් රට ගොඩගන්න ඔවුන්ගේ සහය ලබාගන්න සාකච්චා පවත්වනවා. නමුත් අනුර කුමාර රට ගිහිල්ල මොනවද කරන්නේ කියල හොයල බලන්න. ඔහු රට ගිහිල්ල පක්ෂයට දෙන සල්ලිටික සාක්කුවෙ දාගෙන එනවා.මිනිස්සුන්ට සතපහක උදවුවක් කරන්නේ නැහැ.

අපි රට භාරගන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඒ අය බය නිසා අභියෝගය භාර ගත්තේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාරගෙන නිවැරදි කළමණාකරණයෙන් අවුරුදු දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙනාවා. නැවත වතාවක් රටේ සාමකාමී තත්ත්වයක් ඇති වුණා. ඒවයේ ප්‍රථිඵලය තමයි මේ. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විතරක් දිස්ත්‍රික් සංවර්ධන අරමුදලේ රුපියල් ලක්ෂ 200ට වැඩි මුදලක් තියෙනවා. නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල පළාත් සභා ප්‍රතිපාදන මගින් විශාල මුදලක් ලැබෙනවා. මිනුවන්ගොඩ රෝහලේ තට්ටු හයක නව ගොඩනැඟිල්ලකට මුල්ගල් තියනවා. අපිට ඉතාම කෙටි කලකින් සංවර්ධන අභියෝගය ජයගන්න පුළුවන් වුනේ ජනතාව කළ කැප කිරීම නිසයි.ඉදිරි වසර දෙක මීටත් වඩා හොඳ වෙයි.

මිනිස්සු කියන්නේ මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු කියල. නමුත් ව්‍යවස්ථානුකූලව අපිට එහෙම වැඩ කරන්න බැහැ. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියනවා. මේ ආර්ථික අර්බුධයෙන් රට ගොඩගත හැකි නායකයෙක් නැවත බලයට පත්කරන එක ජනතාවගේ වගකීමක් බව මා මතක් කරනවා. දැක්මක් නැති මිනිස්සුන්ට අත්හදා බලන්න රටක පාලන බලය ලබාදෙන්න එපා.