ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

0

දිස්ත්‍රික්ක 25 න්ම ඊයේ (03) දිනයේදීත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 3,297 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 33 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වෙයි.

ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් ගණන 3,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

පෙරේදා (02) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,004 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 648 ක් දක්වා පහත බැස ඇත.

කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මෙම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 409ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ නිට්ටඹුව, කටුනායක, සපුගස්කන්ද හා කැළණිය යන ප්‍රදේශවලිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හංවැල්ල, අවිස්සාවේල්ල, ගල්කිස්ස යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර, කළුතර දකුණ, පානදුර දකුණ සහ අගලවත්ත යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා විය.

බදුල්ල 187ක්, ගාල්ල 185ක්, මාතර 141ක්, කෑගල්ල 119ක්, කුරුණෑගල 111ක්, අනුරාධපුරය 97ක්, මහනුවර 94 ක්, මඩකලපුව 85ක්, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලින් 76 දෙනා බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් ද සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 195,844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 31,839කි.

සමස්ත ආසාදිතයින්ගෙන් 162,397 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

කොවිඩ් ආසාදිත මරණ 42ක් ඊයේ තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,608ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉදිරියේදී කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාත්මක අඩුවීමක් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර ගුවන් තොටුපොළ විවෘත කළ ද විදෙස් රටවල සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු එන්නත ලබාගෙන තිබුණ ද මෙරට නිරෝධායන නීතිරීතින් යටතේ කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.