විදුහල්පති පුරප්පාඩු ලබන සඳුදා (26) වන විට පුරවනවා. ඇමති සුසිල් සහතික වෙයි

0
විදුහල්පති පුරප්පාඩු

විභාගයේ හා සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ප්‍රසිද්ධියට

වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ටත් සාධාරණයක්

අඩු ලකුණු ගත් අය ස්ථානගත කර තිබේ නම් තොරතුරු දන්වන්න

මධ්‍යම හා බස්නාහිර පළාත් පාසල්වල විදුහල්පති පුරප්පාඩු ලබන සඳුදා වන විට පුරවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. මෙම පළාත්වල අතිරික්ත විදුහල්පතිවරුන් නැති බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දී විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමට පියවර ගන්නා බවත් විදුහල්පතිවරුන් බඳවා ගැනීමේදී පැවැති විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවැසුවේය. එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය. ස්ථානගත කිරීමේදී ප්‍රතිපත්තියක් විදියට විදුහල්පති සංගමය සමඟත්, ගුරු සංගම් සමඟත් සාකච්ඡා කළා. 2019 වසරේ විභාගයට අනුව 1700කට පත්වීම් ලබා දුන්නා. වැඩිම ලකුණු මත ඒ අය පත්වීම් ඉල්ලන්නේ නම් වැඩිම ලකුණු අනුපිළිවෙළට පත්වීම් දීම තමයි ප්‍රත්පත්තිය. ඒ යටතේ කොළඹ ජාතික පාසල්වලට හත්දෙනකු වැඩිම ලකුණුවලට ස්ථානගත කළා. වෘත්තීය සමිතිවලින් කළ දැනුම්දීමක් අනුව එය තාවකාලිකව අත්හිටෙව්වා. ඊට අමතරව ප්‍රශ්න දෙකක් පැනනැඟුණා. මධ්‍යම පළාතේ හා බස්නාහිර පළාතේ කාඩර් එක අනුව සිටිය යුතු සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් විදුහල්පති ධුර ලැබූ බවට චෝදනා පැමිණියා. උදාහරණ ලෙස බස්නාහිර පළාතට 202ක්. මධ්‍යම පළාතට 180ක් විතර. මේ ගැන මම කැබිනට් පත්‍රිකාව දැම්මාම රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිරීක්ෂණ ආවේ ඒ පළාතේ වැඩි නම් ඒ අය ආසන්නම පළාතට ස්ථානගත කරන ලෙසට. නමුත් ඒකට සටහනක් මම ඉදිරිපත් කළා. ඒ අමාත්‍ය මණ්ඩල සටහනෙන් මම ඉදිරිපත් කළේ, අතිරික්තයක් නැති බවට. අධිකරණයට දැනුම් දී තිබෙන්නේ වැඩ ආවරණය කරන අයගෙත් තනතුරු එක්ක පුරප්පාඩු තිබෙනවා කියලා. ඒ අර්ථයෙන් ගත් විට ඒ අයට තමන්ගේ පළාතේ පුරප්පාඩු තුළම ස්ථානගත කිරීම කරන්න පුළුවන්. මාතලේට විදුහල්පතිවරුන් අඩු නම් ඒවා පුරවන්න පුළුවන්. ඒ තීන්දුව කැබිනට් එකේදීම මම ඊයේ ගත්තා. ලබන සඳුදා වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම්වත් කරලා දැනුම් දීම කරනවා මධ්‍යම පළාතේ අතිරික්තයක් නැහැ ඒ අය ස්ථානගත කරන්න. බස්නාහිර පළාතේ අතිරික්තයක් නැහැ ඒ අය ස්ථානගත කරන්න කියලා.

වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ටත් ක්‍රමවේදයක් සකස් කර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒකට රාජ්‍ය සේවා කොමිෂන් සභාව එවූ නිරීක්ෂණත් සමඟ තමයි ස්ථානගත කිරීම ප්‍රමාද වන්නේ. මොකද නැවත වතාවක් අමාත්‍යාංශ ලේකම්වරයාට සිදුවෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් සමඟ සාකච්ඡා කරන්න. ඒකට සති දෙක තුනක් යාවි. ඒ අයටත් සාධාරණයක් ඉටු කරනවා. වැඩි ලකුණු ගත් අය වෙනුවට අඩු ලකුණු ගත් අය ස්ථානගත කර තිබේ නම් ඒවායේ තොරතුරු මට ලැබෙන්න සලස්වන්න. එය නිවැරදි කිරීමට අප කටයුතු කරන්නම්.