SJB විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ හේතුව හෙළිවේ

0
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

සමගි ජන බලවේගයේ පෙළපාළියට  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට  යැයි  සංචාරක රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ජනාධිපතිවරයා ඡන්දයක්  දෙන බව ප්‍රකාශ කර තිබියදී  ඡන්දයක් දෙන්නැයි කියමින් පාරට බසිමින් අනවශ්‍ය කලබල ඇති කරමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන්නේ සැලසුම් සහගතව රට  අකර්මණ්‍ය කර  ආර්ථිකයට හානි කිරීම බවද  ගමගේ මහත්මිය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පියාගේ ගමන් මග ගැන මෙනෙහි කර ජනාධිපතිවරයාට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් ගැන මහ ලොකුවට කතා කරන සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බවද  ඇය කීවාය.

රාජ්‍ය බලය අයුතු ලෙස ලබා ගැනීම සඳහා මහජනතාව කොළඹ අග නගරයට එක්රැස් කිරීමෙන් සිදුවන්නේ රටට ආර්ථික වශයෙන් දැඩි හානියක් බව පැවසූ ඩයනා ගමගේ මහත්මිය  මේ වසරේදී ජනාධිපතිවරණයක් වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළාය

ජනතාව උසිගන්වා මෙවැනි නොසන්ඩාල වැඩ කිරීමෙන් සංචාරකයන් මේ රටට පැමිණීම අඩපණ වන බවද ඇය  කීවාය.

කඳුළු ගෑස් ප්‍රහාරයේදී මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා රෝහල් ගත කිරීම  සිනහව  ගෙන දෙන කාරණයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය  තමාගේ මන්ත්‍රී ධූරය උදුරා ගැනීමට සජිත් ප්‍රේමදාස සහ මුජිබර් රහුමාන්  අසීමිත උත්සාහයක් දරන බවද ප්‍රකාශ කළාය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා රාජ්‍ය ත්‍රස්තවාදයේ නියමුවා බවත්  ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය 88,89කාලයේදී අපි හොඳින් අත්විඳි බවත් ගමගේ මහත්මිය සඳහන් කළාය.