වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය සඳහා පත්කිරීමට නුසුදුසු ඇයි දැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.
වැඩ බලන පොලිස්පති ධුරය සඳහා පත්කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම බල ශූන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් (2023 දෙසැම්බර් 29 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ එල්ල කර තිබෙන චෝදනා මෙසේ ය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් කිතුනු දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව කටයුතු කර එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අදාළ ත්‍රස්ත ප්‍රහාරය සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබූ බවත් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත.
“ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් කිතුනු දේවස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට වන බුද්ධි තොරතුරක් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් 2019 වසරේ අප්‍රේල් මස 11 වැනිදා දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දී තිබුණා. එහෙත් එම තොරතුර දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් යටතේ සිටි පොලිසි නිලධාරීන් වෙත යොමු කිරීම පමණක් සිදුකර තිබෙන බව පාස්කු කොමිසම හමුවේ කරුණු අනාවරණය වුණා. එසේ තමන් විසින් පහළට යොමු කළ තොරතුර සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වූ බවත් එම කොමිසමේදී අනාවරණය වුණා. මෙවැනි බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් පාස්කු ඉරුදින තමන් යටතේ පැවැති කිතුනු දේවස්ථාන වලට විධිමත් ආරක්ෂාවක් ලබා දීමට හෝ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීමට ඔහු කටයුතු කර නැහැ. ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව සඳහන් බුද්ධි තොරතුර පවා ඔහු විසින් තමන් යටතේ තිබෙන කිතුණු දේවස්ථානවල සිටි පියතුමන්ලාට දැනුම් දී තිබුණේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කරන කාදිනල් හිමිපාණන්ම තමන්ට ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සාධාරණ ආකාරයෙන් පියවර ගැනීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වූ බවත් අදාළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි, පෙන්වා දී ඇත.
ඒ අනුව අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාධාරණ පියවර නොගැනීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ කර තිබූ බවත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය.
“2022 වසරේ ජනවාරි මස 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගත්තා. අදාළ දේවස්ථානයේ සේවය කළ සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනින්ද්රන් නමැති සේවකයෙකු විසිනුයි එය සොයා ගත්තේ. පසුව දේශබන්දු තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ විමර්ශන ආරම්භ කළා. ඉන් පසුව අදාළ අත්බෝම්බේ සොයා දුන් දේවස්ථානයේ සේවය කළ සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නැමැත්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන රදවුම් නියෝග මත විමර්ශන පවත්වා පසුව නිදහස් කළා. මේ සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලබා දුන්නා. එහෙත් මේ දක්වා මෙම සිද්ධියට සම්බන්ධ මහ මොලකාර සැකකරු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට එරෙහිව නඩු පැවරීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වී තිබෙනවා”යනුවෙන් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
ගාලු මුවදොර ගැටුම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම
‘2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර අරගල භූමියට පිරිසක් කඩා වැදී ඇති වූ ගැටුමත් සමගම රට පුරා විශාල ගිනි ජාලාවක් මතුවුණා. එම අවස්ථාවේදී ප්‍රදේශයේ භාරව කටයුතු කළ ප්‍රමුඛම ආරක්ෂක නිලධාරියා වන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. එහෙත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කළේ නැහැ. “ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින්ද තීන්දු කරනු ලැබු බවත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී තිබේ’
හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන කෲර වද හිංසාවට ලක් කිරීමේ සිද්ධිය.
2010 වසරේ පාදුක්ක ප්‍රදේශයේ දී රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබළෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන කෲර වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණා.
එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ පහ බැගින් සිය පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකුට නියෝග කරනු ලැබුවා. එම සිද්ධියේදී දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන කෲර වද හිංසාවට එරෙහි මූලික මිනිස් අයිතිය සෘජුවම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රමාණවත් සාක්ෂි වලින් ඔප්පු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා” යනුවෙන් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය පෙත්සමෙන් කරුණු දක්වා ඇත.
පොලිස් ආඥා පනත
පොලිස් ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ පරිපාලන ජාලය මෙහෙයවීමේ භාරදූර වගකීම පොලිස්පතිවරයා වෙත පැවරී තිබෙන බව කාදියල් හිමිපාණන් සඳහන් කරයි.
විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව පොලිසියේ බඳවා ගැනීම්, උසස් කිරීම්, පුහුණුවීම්, විනය, පරිපාලන කටයුතු ඇතුළු අතිශය වැදගත් තීන්දු ගැනීමේ සුවිශේෂී බලතල ද පොලිස් ආඥා පනත යටතේ පනත යටතේ පොලිස්පතිවරයා වෙත පැවරී තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ බරපතල චෝදනා එල්ල වී තිබෙන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරයට පත් කරනු ලැබුවොත් ඉන් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඒ තුළින් පුරවැසියන්ට විශාල අගතියක් සිදුවිය හැකි බවද කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන නිර්දේශ හා ඊට අනුමැතිය ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ලබා දී තිබෙන අනුමැතිය බල ශුන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියහ.
‘දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතුයි’ – නීතිඥ සාමූහිකය
පුද්ගලයෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන අයුතු ලෙස රඳවා තබා කෲර වධ හිංසනයට භාජනය කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු වී සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අයට එරෙහිව “කෲර වද හිංසා වැළැක්වීමේ පනත” යටතේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා වහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සාමූහිකය පැවසීය.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා (2023 දෙසැම්බර් 17 වැනිදා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම සාමුහිකයේ නීතිඥවරු විසින් මේබව අවධාරණය කරනු ලැබූහ.
මෙවැනි බරපතළ චෝදනා සහිත නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතිද්දී එහි වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේ කෙසේදැයි එම සාමූහිකය මෙහිදී ප්‍රශ්න සිටියේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශාරද දැනුමක් සහිත නීතිඥවරුන්ගෙන් සමන්විත “නීතිඥ සාමූහිකයේ” ක්‍රියාකාරිකයකු වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් පැවසුවේ,”මේ නඩු තීන්දුව තුළින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතළ වරදක් ලෙස සඳහන් කර තිබෙන කෲර වධ හිංසාව නමැති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව සඳහන් කර තිබෙනවා. මේ නඩු තීන්දුවෙන් වැරැදිකාරයෝ වී සිටින නිලධාරීන් අතර සිටින එක් පුද්ගලයෙක් තමයි වැඩ බලන පොලිස්පති වශයෙන් කටයුතු කරන තෙන්නකෝන් නමැති නිලධාරියා. ඔහුට වැඩ බලන පොලිස්පති ධූරය දෙන විටත් මේ නඩුව විභාග වෙමින් පැවතුණා. මේ වගේ දරුණු මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග වෙමින් පවතිද්දී ඒ ගැන කරුණු සලකලා බලලාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ පුද්ගලයාට වැඩ බලන පොලිස්පති තනතුරකට පත් කළේ කියන ප්රශ්නය මතු වෙනවා.” යැයි සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ “මේ තනතුර දෙනකොට ඔහුට මේ නඩුව විතරක් නෙවෙයි තවත් නඩු ගණනාවක් තිබුණා. ජනාධිපති මන්දිරයෙන් හොයාගත් රුපියල් මිලියන 17 ක මුදලක් සම්බන්ධ නඩුව, ගාලු ගාලුමුවදොර අරගලයට පහර දීමේ සිද්ධියට සහාය වීමේ නඩුව ඒ අතර සඳහන් කරන්න පුළුවන්. මේ නඩු එම නිලධාරියා ඇපල් අධිකරණයට ගිහින් නවත්ත ගත්තත් නීතිපතිවරයා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. පුද්ගලික අයෙක් නෙවෙයි නීතිපතිවරයා විසින් තමයි මේ නඩු ඉදිරිපත් කරලා තිබෙන්නේ. පොලිසියේ කොස්තාපල්වරයෙකු වෙන්න පුළුවන්, සාජන්වරයෙක් වෙන්න පුළුවන්, උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් වෙන්න පුළුවන්. ඔවුන්ට එරෙහිව බලපාන රීතියක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ට එරෙහිව කිසියම් අපරාධ චෝදනාවත් තිබෙනවා නම් ඊළඟ උසස්වීම සඳහා සලාකා බැලීමක් නොකරන බව. මෙතනදී ඒක වුණේ නැහැ. එසේ තිබියදී මේ වගේ බරපතළ චෝදනා එල්ල වෙච්ච පුද්ගලයෙකු වැඩ බලන තනතුරකට හෝ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේ කොහොමද කියන ප්රශ්නය මතු වෙනවා.”යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය “මේ වෙනකොට ඇතිවෙලා තිබෙන තත්ත්වය තමයි අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ නියෝගයට අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් විනය පියවර ගත යුතුය. ඒවගේම ඔහු කළ මේ වරද සම්බන්ධයෙන් පොලිසිය විසින් විභාගයක් පැවතිය යුතුයි. මේ අවස්ථාවේදී නීතිපතිවරයාගේ වගකීම කුමක්ද? මීට පෙර මෙවැනි වධ හිංසා චෝදනා ඔප්පු වී තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දේශබන්දු තෙන්නකෝන් නමැති නිලධාරියා සම්බන්ධයෙන් නීතිපතිවරයා මාසයක් ඇතුළත කෘර වධහිංසා වැලැක්වීමේ පනත යටතේ අධි චෝදනා ඉදිරිපත් කරයි කියලා.” යනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කළේය.
‘විනය ක්‍රියාමාර්ග ගත යුතුයි’
නීතිඥ සාමූහිකයේ ක්‍රියාකාරිනියක වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර ද මෙහිදී අදහස් පළ කළාය. “මේ නඩුකරයට පාදකවන පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිදු විමර්ශනයකින් තොරවයි. ඔහු අත්අඩංගුවට ගත්තේ කුමන පදනමකින්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැහැදිලි කිරීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සඳහන් වධ හිංසාවලින් මිදී සිටීමට ඇති මූලික අයිතිය, 13 වන වගන්තියේ සඳහන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ 12 වන වගන්තියේ සඳහන් නීතියට පරිබාහිරව අත් අඩංගුවට ගැනීම වැනි මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කළ බව තීන්දු කරලා තියෙන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒවගේම ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙන ICCPR වැනි ජාත්‍යන්තර ප්රඥප්තින් උල්ලංඝනය කිරීමක්.” යනුවෙන් ඇය සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්යවරිය පැවසුවේ “මේ නඩු තීන්දුව තුළින් පොලිසිය නමැති ආයතනය තුළ සිදුවී ඇති කඩා වැටීම මනාව පැහැදිලි වෙනවා. අපගේ නීතිය යටතේ සැකකරුවකුගෙන් ලබා ගන්නා කට උත්තරයක් මත ඔහුට එරෙහිව නඩුවක් මෙහෙයවන්න බෑ.එහෙත් මෙම නඩුකරයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ගැනීමට උත්සාහ කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.”
“මේ නඩු තීන්දුව තුළින් නිලතල දරන පුද්ගලයින් ඔවුන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බව පැහැදිලි කර තිබෙනවා. මේක බැරෑරුම් තත්ත්වයක් ලෙස රජය විසින් පිළිගෙන ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒවගේම අපගේ නීතිය යටතේ කෲර වධ හිංසා වැළැක්වීම සඳහා වධ හිංසා වැළැක්වීමේ පනත තිබෙනවා. ඒ පනත යටතේ මේ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩුකරයක් ඉදිරිපත් කළ යුතුයි.”යනුවෙන් ප්‍රකාශ කළ මහාචාර්ය ගුණසේකර මෙම කරුණු මහජනතාව විසින් දැනගත යුතු බවත් සඳහන් කර සිටියාය.
ඇය පැවසුවේ “මේ නඩු තීන්දුව තුළින් අපට විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. මේ වගේ බරපතළ චෝදනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිද්දී වග උත්තරකාර නිලධාරියකු වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිතුමා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළේ කොහොමද කියලා. මොන වගකීමක් ඇතිවද? ඔය පත් කිරීම කලේ. මේක බරපතල ප්‍රශ්නයක්. නඩු තීන්දුවක් තියෙනකොට මේක නිකං සුළු දෙයක් විදියට සඳහන් කරන්න බැහැනේ. ඒ නිසා යම් පියවරක් ගත යුතුයි. ඉතින් මොකක්ද ගන්න පියවර.” යනුවෙන් ප්‍රශ්න කළ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර නඩු තීන්දුව යටපත් වීමට ඉඩ නොදිය යුතු බවත් අවධාරණය කර සිටියාය.
පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කළ බවට දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට වන්දි ගෙවන ලෙස නියෝග
2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය (දෙසැම්බර් 14 වැනිදා) තීන්දු කළේ ය.
අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.
එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට, කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කෙරිණි.
එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.
මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමග ආ මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව, පෙත්සම්කරු කියා සිටියි.
එම සුසාන භූමිය තුළ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, එසේ පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගත් බවත්, අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවත් ඔහු පැවසීය.
නඩුවේ දී ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවත්, ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෛරාජා ප්‍රකාශ කළේ ය.
“මෙම සිද්ධියේ දී නීතියේ ආධිපත්‍යය අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසමත් වී තිබෙනවා. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවස්ථාව ගණනාවක දීම විවිධ මාර්ගෝපදේශ නිකුත් කළා. ඒවා පිළිපදින බවක් පෙනී යන්නේ නෑ. බිහිරන්ට වීණා වාදනය කළා මෙන් ඒවා සම්බන්ධයෙන් කිසිදු තැකීමක් දක්වන්නේ නෑ. මෙය හුදකලා සිද්ධියක් වශයෙන් සලකන්න බෑ. මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින ආයතනික කඩාවැටීමක දිගුවක් බව සඳහන් කළ යුතු යි,” යනුවෙන් විනිසුරු තුරෛරාජා ඔහුගේ තීන්දුවේ සඳහන් කර සිටියේ ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් පෙත්සම්කරු වධහිංසනයට ලක්කර තිබෙන ආකාරය මනාව තහවුරු වන බව විනිසුරුවරයා පැවසීය.
එම සිද්ධිය වූ අවස්ථාවේ දී ප්‍රදේශය භාරව කටයුතු කළ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද තුරෛරාජා විනිසුරුවරයා ඔහුගේ තීන්දුවේ කරුණු පහදා තිබේ.
“මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි.”
මෙම ක්‍රියාව තුළින් ම එවක ප්‍රදේශය භාරව සිටි පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ද පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැ යි විනිසුරු තුරෛරාජා ඔහුගේ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා පෙනී සිටියේ ය.