රන්ජිත් බන්ඩාර ලිංගික අල්ලස් චෝදනාවක්

0
රන්ජිත් බන්ඩාර

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බන්ඩාර ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ඉදිරි සතිය තුළ කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර හස්ථ සංඥා මගින් සිදු කළ සන්නිවේදනයන් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇති අතර, එම සිද්ධිය පාර්ලිමේන්තුවේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා.

කොප් කමිටු සභාපතිවරයාට එල්ල වන දැඩි දෝෂදර්ශන හමුවේ, කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට ද කථානායකවරයා තීරණය කළා.

මෙවන් පසුබිමක කෝප් කමිටු සභාපතිවරයෙකු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ (17) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට හෙළි කළා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර, අදාළ චෝදනාව එල්ලවී ඇත්තේ කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට බව එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා අනාවරණ කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වර්ෂයේ සිට 2018 මැයි 31 වැනිදා දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී‍ මුදල් ලබා ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටු රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා ඇති නමුත් එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගෙන් ලැබී තිබුණේ, නොමග යවනසුළු පිළිතුරුයි.

වසර ගණනාවක් පුරා මෙම ව්‍යාපෘතිය සුදු අලියෙක් බවට පත්ව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක සභික තිලිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් පැමිණියා.

ඔවුන් එසේ පැමිණියේ, වසර 07 කට පෙර මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් බදු පදනම මත ලබාගෙන ඇතැයි කියන අක්කර 05 කට ආසන්න ඉඩම නිරීක්ෂණය කිරීම සඳහායි.

රන්ජිත් බන්ඩාර චෝදනාව ප්‍රතික්ෂේප කරයි

විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මහතා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා පැවසුවා.