වත්මන් ආර්ථික අර්බුදය ඇතිකලේ කවුදැයි හෙළිවේ

0
වත්මන් ආර්ථික අර්බුදය

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට  වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙස ද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහත්වරුන් විසින් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනමම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 කල්  ඉකුත් වීමෙන් පසුව ගොනු කොට ඇති බැවින් නිෂ්ප්‍රභ කරන බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ

මෙම ආර්ථික අවපාතය හේතුවෙන් ජනතාවට ඉන්ධන ඖෂධ ආදී මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙස වගඋත්තරකරුවන් ඊට සෘජුවම වගකිය යුතු බවත් ඔවුන් ජනතාවගේ විශ්වාසය සහ ජනතා භාරය උල්ලංඝනය කර ඇති බවත් එමගින් සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී වගඋත්තරකරුවන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු වුවත් ඔවුනට වන්දි මුදල් නියම කිරීම සිදු නොකරන බවද ඒ වෙනුවට පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු පමණක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ චන්දක ජයසුන්දර මහත්වරුන් පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, නවීන් මාරපන, ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ මනෝහර සිල්වා යන මහත්වරු  පෙනීසිටියහ.