ඩෙංගු කම්පන තත්ත්වයෙන් සදෙව්මිනි ට දිවි අහිමි වුයේ වෛද්‍යවරුන්ගේ වරදින් – මව්පියින්

0

ඩෙංගු කම්පන තත්ත්වයෙන්

පසුගිය ජූනි 30 වනදා IDH රෝහලට ඇතුළත් කළ කුඩා දියණියක් ඩෙංගු කම්පන තත්ත්වයෙන් මියයෑමේ ඛේදනීය පුවතක් වාර්තා වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 4ක් බිහංසා සදෙව්මිනි නැමති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි.

ඩෙංගු කම්පන තත්ත්වය වෛද්‍යවරුන් විසින් මුලදීම හඳුනා නොගැනීම දැරියගේ මරණයට හේතුව බව වාර්තා වේ.

සඳෙව්මිනීගේ දෙමාපියන් චෝදනා කරන්නේ, එම ඩෙංගු කම්පන තත්ත්වය නිසිලෙස හඳුනාගෙන ප්‍රතිකාර සිදුකළේ නම් ඇයව බේරාගැනීමට තිබූ බවටය.

පුංචි සඳෙව්මිනිගේ මව අද දෙරණට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මගේ ළමයාට ගොඩක් අමාරු වුණා. වමනය දාලා ඉඳලා ඉඳලා ගොඩක් අමාරු වුණා. අමාරු වුණාට පස්සේ 9.30ට විතර ලොකු දොස්තර ඇවිත් තමා කිව්වේ ළමයට ඩෙංගු රක්තපාතය ඇවිල්ලා කෝමා තත්ත්වයට ඇවිත් කියලා. අම්මේ කිසිම දෙයක් දෙන්න එපා ළමයට අපි තමා කරන්න ඕනේ. අම්මා ළමයව බේරගන්න ඕනේ මොකවත් දෙන්න එපා. පොඩ්ඩක් ඉන්න කිව්වා. හවස 5 වෙනකල් මගේ ළමයා දුක්විඳලා දුක්විඳලා මළා. අන්තිමට මගේ දරුවා නැතිවුණා. මගේ ළමයා හොඳට වැඩකරන ළමයෙක්. ක්‍රියාකාරකම් කරන ළමයෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමා මෙහෙම වුණේ. ළමයට වෛරස් එකක් ගිහින් කියලා බෙහෙත් කළේ. අවසාන මොහොතේ තමා කිව්වේ ඩෙංගු රක්තපාතය කියලා. මගේ ළමයට පණ ගියෙත් ඇඳේමයි.ළමයා බේරලා දෙන්නම් කිව්වට හරියට කිසිම දෙයක් වුණේ නෑ…”

කෙසේවෙතත් මියගිය දැරියගේ අභ්‍යන්තර ඉන්ද්‍රීය පටකයන් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි ද වාර්තා වේ.

මියගිය දැරියගේ දේහය මේ වනවිට 102/19 වෙන්නවත්ත, වැල්ලම්පිටිය යන ලිපිනයේ තැන්පත් කිරීමට නියමිතය.

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන තිබේ.