කොට්ටාව පොලිසියේ නිලධාරීන් 6 කට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්ණයක්

0
කොට්ටාව පොලිසියේ

පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවෙකු ‘කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව’ අත්අඩංගුවට ගෙන දණ ගස්සා හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන එල්ල කර පහර දී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ඔක්:13) තීන්දු කළේ ය.

ඒ වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරීන් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් විය.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි විතානගේ සුනිල් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟතාව ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා ය.

ඒ අනුව, අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් කළ කොට්ටාව පොලිසියේ එවකට ස්ථානාධිපති එල්.පී.බී. සමරසිංහ, පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන නන්දන පියල්, සම්පත්, චන්ද්‍රා නිරෝෂන්, උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි යන නිලධාරීන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් විය.

සිද්ධිය කුමක් ද?

පෙත්සම්කරු කියා සිටින්නේ, තමා පෞද්ගලික බස්රථ හිමිකරුවෙකු බවත් සිය බස්රථ දෙකක් කොට්ටාව – පිටකොටුව මාර්ගයේ ධාවනය වන බවත් ය.

2016 වසරේ ජූලි මස 09 වන දා රාත්‍රි 10.00ට පමණ මිතුරෙකු හමුවී නිවසට පැමිණෙමින් සිටියදී වග උත්තරකාර පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා නමැත්තා පැමිණ තමන්ට බැනවැදී සිය හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවත්, ඉන්පසුව කොස්තාපල් සම්පත් සහ නිරෝෂන් යන නිලධාරීන් තමන්ට පහර දී දණ ගසන ලෙස අණ කළ බවත් පෙත්සම්කරු කියා සිටියේ ය.

ඉන්පසුව, එම නිලධාරීන් අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවටත් ඔහු චෝදනා කර ඇත.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් තමන්ව කොට්ටාව පොලිස් ස්ථානයට රැගෙන ගොස්, සිර මැදිරිය තුළ රැඳවූ අතර තමන්ව නිදහස් කරන ලෙස සිය මව, බිරිඳ සහ ඇයගේ සොහොයුරා පොලිසියෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඔහු චෝදනා කළේ ය.

වග උත්තරකාර නිලධාරීන් විසින් සිය මුහුණ, කට, පපුව, අත් සහ පාදවලට අමානුෂික ලෙස පහර දුන් බවත් මේ හේතුවෙන් තුවාලවලින් ලේ ගැලීම සිදු බවත් පෙත්සම්කරු කියා සිටියේ ය.

ඉන් අනතුරුව ජූලි මස 10 වන දා හෙරොයින් මිලිග්‍රෑම් 550ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරුණු අතර පෙත්සම්කරුට පොලිස් අත්අඩංගුවේදී පහර දීම සිදු වී ඇති බවට ඔහුගේ නීතිඥවරයා දැනුම් දීමෙන් අනතුරුව තමන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ජූලි මස 18 වන දා තමන්ව යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන්ව බන්ධනාගාර නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් නොකළ බව තමා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන් බව සඳහන් කළ පෙත්සම්කරු ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කළ බවත් කියා සිටියේ ය.

පසුව වෛද්‍ය නවසිවායම් ඉදිරිපත් කරන ලද මුල් අධිකරණ වෛද්‍ය වාර්තාවේ තමන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද පුද්ගලයාට බාහිර තුවාල කිසිවක් නොතිබූ බව සඳහන් කර තිබිණි.

මුහුණ, පපුව, නළල සහ මැණික් කටුව යන ප්‍රදේශවලට තුවාල

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව වෛද්‍ය ප්‍රනවන් විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් පෙත්සම්කරුගේ මුහුණ, පපුව, නළල සහ මැණික් කටුව යන ප්‍රදේශවලට තුවාල දක්නට තිබූ බව වාර්තා කර තිබිණි.

ඊට අමතරව, මෙම පෙත්සම්කරුට මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ ඉතිහාසයක් මෙම පරීක්ෂණයේදී සායනික සාක්ෂි අනාවරණය නොවූ බවත් එම වෛද්‍ය වාර්තාව තුළින් අධිකරණයට දැනුම් දී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මේනකා විජේසුන්දර “අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වේ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇතැයි අධිකරණයේ නිගමනය යි. මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව වගඋත්තරකරුවන් කියති. එහෙත් ඒ බව තහවුරු කිරීමට වැදගත් වන කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී තිබේ. ඔවුන් ඉදිරිපත් කරන කරුණු තුළින් සැක සහිත තත්ත්වයක් මතුවෙයි. වග උත්තරකරුවන් තමාට කළ පහර දීම වසන් කිරීම සඳහා ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය චෝදනාවක් හඳුන්වා දුන් බව පෙත්සම්කරු කියයි. අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් ද පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉතිහාසයක් නොමැති පුද්ගලයෙකු බව සඳහන් කර තිබේ. ඊට අමතරව මෙම පෙත්සම්කරු නිසි වේලාවට අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට ද වග උත්තරකරුවන් අපොහොසත් වී තිබේ. එය ද ගැටලුසහගත ය. ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේදී මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වගඋත්තරකරුවන් විසින් කෲර වධ හිංසනයට ලක්කර අමානුෂික සැලකීම්වලට භාජනය කරනු ලැබ තිබෙන බව තහවුරු වෙයි,” යනුවෙන් පවසමින්, ඒ අනුව වග උත්තරකරුවන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

BBC News