මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක්

0

මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක්

මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයේ(22) නම් කරනු ලැබූහ.

මෙසේ නම් කෙරුණු සාමාජිකයන් අතර වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිසිවකුත් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මැතිවරණ කොමිසමට නම් කෙරුණු සාමාජිකයන් අතර හිටපු නීති කෙටුම්පත් සම්පාදකවරයකු, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු සහ  හිටපු නිලධාරියකු ඇතුළත් වන බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් සාමාජිකයන් පත් කෙරුණද මැතිවරණ කොමිෂන්  සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම කාලයක් තිස්සේ ප්‍රමාදවිය.  මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක
පවතින මැතිවරණ කොමිෂන්  සභාව වෙනස් කිරීම  සුදුසු නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නායකයන් පිරිසක් දිගින් දිගටම විරෝධය දැක්වීම හේතුවෙන්  ඊට සාමාජිකයන් පත් කිරීම මෙසේ ප්‍රමාද විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරා ගැනුණු  මෙම සාමාජිකයන් පස් දෙනාගේ නම් ජනාධිපතිවරයාට අද හෙටම යැවීමට කටයුතු සූදානම්  කර ඇතැයි  පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.