ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩ සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.
එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ.
එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත්තේ, පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බවය.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණි.
කෙසේවෙතත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවු බව වාර්තා වේ.
අදාළ සිදුවීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුවේ යම් වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදි ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර තිබේ.
එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වු බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.