ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙන ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වූ ඇඟලුම් කර්මාන්තයට කණකොකා හඬමින් තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පසුගිය වසර කිහිපය තුළ රට තුළ ඇති වූ තත්ත්වය නිසා බොහෝමයක් ව්‍යාපාර වැසීයාමේ තර්ජනයකට ලක් වී ඇති අතර ඇතැම් දේශපාලඥයන්ගේ ක්‍රියා නිසාද ඇඟලුම් කම්හල් වැසීයාමේ තත්ත්වයක් ඇතිව තිබෙන බව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය රටේ ජනතාවගේ ආර්ථිකයට පවා බලපාන අතර එම ඇඟලුම් කම්හල් වැසී ගියහොත් එවායේ සේවකයන්ගේ රැකියාවලට කුමක් වේද කියා සිතාගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ අපනයනකරුවන් ලබන ලාභය මත පනවා ඇති 30% බද්ද හා විදුලිය සඳහා යන වියදම 160% කින් ඉහළ යාම නිසා මහා පරිමාණ ඇඟලුම් කම්හල් වැසීයමින් පවතින අතර ඇඟලුම් කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණපා සිටින බවට පසුගිය කාලයේ කර්මාන්තකරුවෝ ප්‍රකාශ කර තිබිණි. පසුගිය දිනවල මහ පරිමාණ කම්හලක් වන බ්‍රුන්ඩික්ස් කම්හලේ ශාඛාවක්ද, හයිඩ්‍රාමනී කම්හල හා හෙළ ක්ලෝතිං නමැති ආයතනයද වසා දමා තිබේ. සේවකයන් 8000ක් පමණ සේවය කළ කම්හල් හතකින් සමන්විත ස්මාර්ට් ෂර්ට් කර්මාන්ත ශාලාවේද නිෂ්පාදන අඩාල විය.
අපනයනකරුවන්ගේ ලාභාංශය මත මෙතෙක් පනවා තිබුණේ 14%ක සහන බද්දකි. මේ වන එය ලාභයෙන් 30%ක් ලෙස වැඩි කර ඇත. අමුද්‍රව්‍ය ආනයනයේදී දැනට පවතින වරාය හා ගුවන් සේවා බද්දට අමතරව තවත් 2.5%ක බද්දක් පැනවෙන අතර ලංකාවෙන් මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම එම බද්ද බදු පිට බදු වශයෙන් එකතු වේ. ඉන්දියාව බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්තානය වැනි රටවල අපනයනකරුවන් සඳහා සහන බදු ක්‍රමයක් සහ විවිධ සහනාධාරද හිමිය.
මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඇඟලුම් කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවටය.
”මේ වනවිට කර්මාන්ත ශාලා කිහිපයක්ම වැසී ගිහින්. ඇතැම් ප්‍රධාන කම්හල්වල විවිධ අංශ අඩුකර තිබෙනවා. සේවක සංඛ්‍යාව අඩුකරනවා. සේවකයන් රැකියා විරහිතයන් බවට පත්වෙනවා. විදේශීය ආයෝජකයෝ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙනවා. ආයෝජනය සඳහා සුදුසු වාතාවරණය නොමැති කමින් පසුගිය වසර දෙක තුන මුළුල්ලේම විදේශ ආයෝජකයන් වෙනත් රටවල කර්මාන්ත ශාලා ඉදිකිරීමට කටයුතු කළා. ක්‍රමක්‍රමයෙන් ඔවුන් ලංකාවෙන් ඉවත් වෙනවා. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න අධික ලෙස බදු පැනවීම. දෙවැන්න විදුලි බිල අසීමිත ලෙස ඉහළ දැමීම තුන්වැනිව උපයෝගිතා වැය අධික වීම. මෙවැනි කරුණු මත දැනට වෙළෙඳපොළේ අපට ඇති තරගකාරීත්වය අවම වෙලා. බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවලටත් මෙම තත්ත්වය බලපා තිබෙනවා. එමෙන්ම යුරෝපා වෙළෙඳපොළේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය. අපේ නිෂ්පාදන මිලට ගත් ජර්මනිය, එංගලන්තය වැනි රටවලටද බලපාලා. ඇමෙරිකාවෙත් එවැනි තත්ත්වයක් පවතිනවා. ඒත් එම ආර්ථික ගැටලු නිසාම අපේ නිෂ්පාදන මිලදී ගැනීම අඩුකර ඇතැයි අපට කියන්න බැහැ. ඔවුන්, වියට්නාමය, වැනි රටවලින් වැඩිවශයෙන් මිලට ගන්න බව පෙනෙන්න තිබෙනවා. එයට එක් හේතුවක් ජාත්‍යන්තර වශයෙන් ලංකාව පිළිබඳ පවතින ප්‍රතිරෑපය එතරම් හොඳ නොවීම. මානව හිමිකම් ප්‍රශ්න, ණය ප්‍රශ්න වැනි දේවල් නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනවා. ඔවුන් මතුපිටින් පෙන්වන හේතුවලට වඩා අභ්‍යන්තරයේ වෙනත් හේතු තිබෙනවා.
පසුගිය කාලය පුරාම කුඩා හා මධ්‍යම පරිමාණ කම්හල් වැසී ගියා. ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. එයට බලපෑවේ මහපරිමාණ කම්හල්වලින් ඔවුන්ට ලබා දුන් ඇණවුම් ප්‍රමාණය අඩුවීමයි. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගියා.. මෙවැනි තත්ත්වයක් දිගටම පැවතීම නිසා මහ පරිමාණ කර්මාන්ත ශාලාවලටත් මේ වන විට එම ගැටලුව ඇතිවී තිබෙනවා. දැනට යුරෝපයට ලබා දෙන නිෂ්පාදන ජීඑස්පී ප්ලස් ක්‍රමයට සිදුකරනවා. එයත් ලබන වසරේ අවසන් වීමට නියමිතයි. ඒ සඳහා අප යළි අයැදුම් කළ යුතුයි. එවිට ඔවුන් කුමන ආකාරයෙන් අපට ප්‍රතිචාර දක්වයිද කියා කියන්න බැහැ. ජීඑස්පී ලබාදීම සඳහා ඔවුන් විවිධ නිර්ණායකයක් සලකා බලනවා. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිසා අපට සහනදායක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. කෝටා පිළිබඳ ගැටලුවක් තිබෙන්නේ ඇමෙරිකාවටයි. ඇමෙරිකාවෙන් ලැබෙන ඇණවුම් අඩුවී තිබෙනවා.
කර්මාන්තශාලා හිමිකරුවන් විදිහට විදුලි බිල වැඩිකිරීම නිසා අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගියා. විදුලි බිල සියයට 160කින් පමණ වැඩිවුණා. පසුගිය අගෝස්තු මාසයේ අපේ විදුලි බිල ලක්ෂ 10 ගෙවුව නම් මේ වනවිට එය ලක්ෂ 35ක් දක්වා ඉහළ ගිහින්. අපට ලැබෙන ඩොලර් ප්‍රමාණයේ වෙනසක් නොවුවත් එහි අගය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතීම මත ඒවා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අපට පාඩුවක් සිදු වෙනවා. ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය අවම වීම නිසා වැටුප් හා අනෙකුත් දීමනා ලබා දීම සඳහා වැඩි මුදලක් වැයවෙනවා. මේ නිසා අපේ වියදම වැඩිවී ලාබය අඩු වෙනවා. මෙවැනි තත්ත්වයන් මත ආයෝජකයන් වෙනත් රටවල තම ආයෝජන කිරීමට පෙළඹි තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
ආයෝජකයන් මෙරටින් ඉවත් වීම හා කර්මාන්ත ශාලා වැසීයාම හේතුවෙන් අසරණ වන්නේ ඒවායේ සේවක සේවිකාවන්ය. අර්බුදය ආරම්භ වීමෙන් පසු මේ දක්වා දළ වශයෙන් 50,000කට ආසන්න පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දෙයි. ඇතැම් ආයෝජකයෝ වන්දි ගෙවා සේවකයන් ඉවත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිති. ඇන්ටන් මාකස් මහතාට අනුව පසුගිය කාලයේ අවම සේවක පිරිසකගෙන් උපරිම සේවයක් ලබා ගැනීමට කටයුතු කිරීම මත හා ඩොලරයේ අගය ඉහළ යෑම මත ඇඟලුම් කම්හල් හිමියන් අධික ලාබ ඉපැයූ බවත් සේවකයන්ට වන්දියක් ලබා දී ඉවත් කර දැමීම වඩාත් ලාබදායක බවත්, වෙනත් රටක ශ්‍රී ලංකාවට වඩා අඩු වැටුපත් ලබාදී තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ඔවුනට හැකි බවත් සඳහන් කළේය.
”මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් අවම වශයෙන් 40ක් පමණ වැහිලා. මහපරිමාණ කම්හල් වන බ්‍රුන්ඩික්ස්, හයිඩ්‍රාමනී, හෙල ක්ලෝතිං වැනි කම්හල්ද ක්‍රමයෙන් වැසී යමින් පවතිනවා. ඒවායේ ඇතැම් ශාඛා වසා දමා සේවකයන් වෙනත් කම්හල්වලට මාරු කර යවා තිබෙනවා. සමහරුන්ට වන්දි ලබා දී ඉවත් කරනවා. මෙම කම්හල් වහන්නේ ඇයිද කියා සේවකයන් දැනුවත් කරන්නෙත් නැහැ. ආණ්ඩුව මේ බව දන්නවද නැද්ද කියල දන්නෙත් නැහැ.
කම්හලක් වැහුවම සේවකයන් අස්කරන්න නම් කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබා ගත යුතුයි. කම්හල් හිමියන් එය කරන්නේ නැහැ. ඔවුන් කොමසාරිස්වරයා වෙත යනවා නම් වසා දැමීමට හේතු ඉදිරිපත් කළ යුතුයි. ඔවුන් කරන්නේ වන්දි ගෙවා ඉවත් කිරීමයි. ඇතැම් විට සේවකයන් වෙනත් කම්හල් වෙත මාරුකරනවා. දුර වැඩි නිසා ඇතැම් සේවකයන් සේවයට යන්නේ නැහැ. එවිට කරන්නේ සේවය අතහැර ගියා සේ සලකා වන්දි නොගෙවාම ඉවත් කිරීමයි.
අර්බුදය හේතුකොටගෙන මේ වනවිට රැකියා 50,000ක් පමණ අහිමි වී තිබෙනවා. ආණ්ඩුව කම්හල් වසා දැමීම පිළිබඳව කිසිවක් සොයන්නේ නැහැ. මෙරටට පැමිණෙන ආයෝජකයන්ට යටිතල පහසුකම් ලබා දෙනවා. ඔවුන් ආදායම් උපයන්නේ ඔවුන්ට ලබාදුන් බදු සහන සහ වෙනත් සහන මතයි. මේවාට යොදා ගත්තේ ලංකාවේ මිනිසුන්ගේ බදු මුදල්. ඔවුන් මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන බවට සහ ලංකාවට විදේශ විනිමය උපයා දෙන බවට ඇති විශ්වාසය මත මේ සියල්ල සිදුවුණා. ඔවුන් මේවායින් උපයන ලාබයෙන් විදේශවලත් කම්හල් ආරම්භ කළා. එවැනි ඇතැම් ආයෝජකයන් තම ගැනුම්කරුවන්ට ප්‍රකාශ කර තිබෙනවා ලංකාවට ලබා දෙන ඇණවුම ඉන්දියාවේ ඇති ඔවුන්ගේ කම්හලට ලබා දෙන ලෙසට. ආණ්ඩුව මෙවැනි කටයුතු පිළිබඳව සොයා බැලිය යුතුයි. මෙරට ඇඟලුම් කම්හල් වැඩි ප්‍රමාණයක් දේශීය හා විදේශීය බද්ධ ව්‍යාපාර. ලෙසයි ක්‍රියාත්මක වන්නේ. දේශීය ව්‍යාපාරිකයන්ද මෙවැනි කටයුතු වලට සහය දෙනවා. ඔවුන්ට අවශ්‍ය ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අධික පිරිවැයක් දරා ගන්නේ නැතිව විදේශ රටක ඇති තම කර්මාන්ත ශාලාවට ඇණවුම ලබා දී ලාබ ඉපයීමයි. ඇතැම් දේශපාලකයන්ගේ මැර කණ්ඩායම් විසින් තර්ජන එල්ල කිරීම සහ කප්පම් ඉල්ලීම වැනි ක්‍රියා නිසාත් ආයෝජකයන් වෙනත් රටවලට යනවා. දූෂණය සහ වංචාව අපේ සිස්ටම් එකේ කොටසක් බවට පත්වෙලා.” යනුවෙන් සඳහන් කළේය.