Home LOCAL SDIG පතිනායකගේ ස්ථාන මාරුව අධිකරණය හෙළා දකියි

SDIG පතිනායකගේ ස්ථාන මාරුව අධිකරණය හෙළා දකියි

0

වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුගේ ස්ථාන මාරුවීම් වහාම නැවත නිවැරදි කරනු ඇතැයි අධිකරණය බලාපොරොත්තු වන බව ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය අද ප්‍රකාශ කර තිබේ.

මෙම මාරුවීමට හේතු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී පැහැරගෙන ගොස් කනත්තක් අසළ දමා යාමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම මාරුවීමට අදාළ තීරණය තරයේ හෙළාදකිමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම අදාළ සිදුවීමේදී පොලිස් නීති කොට්ඨාසය ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද අධිකරණය දන්වා ඇත.

මේ අතර එම සිදුවීමට අදාළව පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති 35374/2023A අංක දරණ B වාර්තාව ඉවත්කොට නැවත සංශෝධිත B වාර්තාවක් ඉදිරිපත් කිරීමට නීති කොට්ඨාසය ඉදිරිපත් කළ ඉල්ලීම ද අධිකරණය එහිදී ප්‍රතික්ෂේප කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝශා පටබැඳිගේ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය අගය කරන බවය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරු ඇතුළු 5 දෙනෙකු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

පොලිස් කොස්තාපල්වරයෙකුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පහරදීමෙන් අනතුරුව එම නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ හේතුව මත වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානය වෙත හා කේෂ්ත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකරනු ලැබිණි.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානය වෙතද පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. සි. ඒ. පුෂ්පකුමාර, පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරි එච්. එම්. සි. පි. හේරත්, ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. පී. ජි. එන්. ආර්. බණ්ඩාර යන මහත්වරු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටද මෙලෙස මාරුකර තිබේ.

පසුගියදා නවගත්තේගම පොලීසියේ කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් කනත්තක් අසල දමාගොස් සිටියදී සොයාගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ පැහැරගැනීම සිදුකළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට අදාළ සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුව ආනමඩුව පොලිස් ස්ථානයට භාරවී තිබුණි.

කෙසේවෙතත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.