දසුන් ශානකගෙන් විශේෂ ප්‍රකාශයක්

0

නවසීලන්තය සමග ඉදිරියේදී පැවැත්වෙන එක්දින සහ 20/20 තරගාවලි සඳහා හොඳ සූදානමකින් සිටින බව ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක පවසයි.

දෙරට අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඩ් හිදී හෙට පැවැත්වෙයි.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශානක පැවසුවේ, “අපි හොඳ සූදානමකින් ඉන්නේ. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීම හොඳ දෙයක්. තරුණ ක්‍රීඩකයින්ට ඔහුගෙන් දැනුම ලබාගන්න පුළුවන්. ඉන්දීය තරගාවලියට එක්වූ කණ්ඩායමේ සංයුතිය වෙනස් කරන්න බලාපොරොත්තුවක් නෑ.ලෝක කුසලානයට එකවර සුදුසුකම් ලැබීමට මෙම තරගාවලිය ජයගැනීම වැදගත්. නවසීලන්තය හොඳ කණ්ඩායමක්. නමුත් ඒක දිනය අනුව වෙනස් වෙන්න පුළුවන්.  මෙම තරගාවලිය ජයගැනීමට මහන්සිවෙලා වැඩකරන්න වෙනවා.”

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරග 3ම පැවැත්වෙන්නේ ICC සුපර් ලීග් තරගාවලියට යටතේය.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිල ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද අවසන් පුහුණු සැසියට එක්වුණි.

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම එක්දින තරග 3ම ජය ගත යුතුය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙන තරගය දෙරට පැවැත්වෙන සියවන එක්දින තරගය වීමද විශේෂ්තවයකි.

මේ දක්වා දෙරට අතර පැවැති එක්දින තරග 99 න් තරග 49ක් නවසීලන්තය ජය ගත් අතර තරග 41ක් ශ්‍රී ලංකාව ජයගත්තේය.

ශ්‍රී ලංකා පිල 2012 වර්ෂයෙන් පසු මේ දක්වා නවසීලන්තයට එහෙිව මෙතෙක් එක්දින තරගාවලි ජයක් වාර්තා කර නොමැත.

එමෙන්ම ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව නවසීලන්කයේදී අවසන් වරට එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ සනත් ජයසූරියගේ නායකත්වය යටතේ 2001 වසරේදීය.

හෙට තරගය පැවැත්වෙන ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා එක්දින තරග 7ක් පවත්වා තිබේ.

දෙපිලම ඉන් තරග 3ක බැගින් ජය ගත් අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතර දැමුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 6.30ට ආරම්භ වීමට නියමිතය.