13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා

0
President's Statement of 13th Amendment - 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට ඊයේ (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“මේ වේදිකාවේදී මට මතක්වෙන්නේ තෛපොංගල් උත්සවය. ගින්දර උඩ මුට්ටිය තියනවා. වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා, පොංගල් බත් හැදෙනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහලයෝ දාමූ, දෙමළ අය දාමූ, මුස්ලිම් අය දාමූ, බර්ගර් අය දාමූ, ශ්‍රී ලාංකිය අනන්‍යතාවයක් හදමු. එන සුමානේ පක්ෂ නායකයින් යළි කැඳවනවා. මම කිව්වා පෙබරවාරී 8 වනදා මේ රටට කියන්න සංහිඳියාව ඇතිකරන්න මොකක්ද ගන්න පියවර කියලා. ඒක මම පාර්ලිමේන්තුවට කියනවා ගන්න කියලා. මම සති තුනකට ඉස්සරලා අපේ හමුදාපතිවරුන්ගෙන් ඇහුවා TRC එක ඇතිකරන්න යනවා මොකක්ද අදහස කියලා. ඇත්ත සොයාගන්න අපිත් කැමතියි කිව්වා. එතකොට අපිට තියෙන චෝදනාවලටත් අපිට පිළිතුර දෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපේ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.TRC ඇතිකරන එකට. ඒවගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් අපි ගෙන එනවා. සමහරු කියනවා මේක උතුරට විරුද්ධව යොදවනවා කියලා. නෑ මේක යොදවන්නේ රටේ ස්ථාවර භාවය ඇති කරන්න. මට ගිය අවුරුද්දේ දකුණට යොදවන්න තිබුණා.”

“අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කථා කරලා ඒවත් ක්‍රියාකරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන්ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා.”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)