භානුක, මතීෂ,මහීෂ් හා වනිඳුට ලබන වසරේදීත් අයි.පී.එල් වරම්

0
Sri Lankan Players in IPL - භානුක, මතීෂ,මහීෂ් හා වනිඳුට ලබන වසරේදීත් අයි.පී.එල් වරම්

එළඹෙන වසරේ  (2023) අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් රඳවා ගැනීම් හා නිදහස් කිරීම් අද සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වූ භානුක රාජපක්ෂ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංගව එළඹෙන වර්ෂයේදීත් තමන් සන්තකයේම තබාගැනීමට ඔවුන්ගේ වත්මන් කණ්ඩායම් තීරණය කර තිබිණ. පසුගිය වර්ෂයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරිමට කණ්ඩායම් මිලදී ගත් අතර එයින් 4 ක්ම එළඹෙන වර්ෂයේදීත් එම කණ්ඩායම් වලටම ක්‍රීඩා කිරිමට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

ඒ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ප්‍රභලම දඟපන්දු යවන්නා වූ වනිඳු හසරංග පසුගිය (2022) අයි.පී.එල්. තරගවාරය වෙනුවෙන් අයි.පී.එල්. තරගාවලියට ඉදිරිපත්වූයේ ඉන්දීය රුපියල් කෝටියක (රු. කෝටි 4.55) මූලික මුදලකටයි. එහිදී ඔහුව ඉන්දීය රුපියල් කෝටි 10.75 (රු. කෝටි 50 කට ආසන්න) මුදලකට වෙන්දේසි විය.  නමුත් ඔහු එහිදී සිය වටිනාකම මනාව පෙන්නුම් කලේ තරගාවලියේ දෙවැනි වැඩිම කඩුළු ලාභීයා බවට පත්වෙමිනි. වනිඳු එහිදී ඉනිම් 16 කදී කඩුළු 26 ක් දවා ගත්තේ තරගාවලියේ දෙවැනි කඩුළු ලාභියා බවට පත් වෙමිනි.

මේ අතර භානුක රාජපක්ෂව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම එළඹෙන වර්ෂයේදීත් තමන් සන්තකයේ තබා ගැනීමට තීරණය කර ඇත.  31 හැවිරිදි භානුක ඉන්දීය රුපියල් ලක්ෂ 50 (රු. කෝටි 2.25) ක මුදලකට පන්ජාබ් කණ්ඩායම වෙත අලෙවි විය. එහිදී සැලකිය යුතු දක්ෂතා පෙන්නුම් කළ භානුක ඉනිම් 9 කදී ලකුණු 206 ක් වාර්තා කලේ 159.69 ක ප්‍රහාරාත්මක වේගයක්ද සහිතවයි.

මේ අතර ශ්‍රී ලංකා නැගී එන දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට පසුගිය ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවක් තැබුණු අතර අවසානයේ ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 70 (රු. කෝටි 3.20) කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. එහිදී සිය කැරම් පන්දුවෙන් පිතිකරුවන් පාලනය කිරීමට සමත්වූ මහීෂ් ඉනිම් 9 කදී කඩුළු 12 ක් දවා ගත්තේ ඉනිමකට 7.46 ක ලකුණු සාමාන්‍යයක් පමණක් ලබා දෙමිනි.

එමෙන්ම තවමත් 19 හැවිරිදි වියේ පසුවන මතීෂ පතිරණ මූලික ඉන්දීය රු. ලක්ෂ 20 (රු. ලක්ෂ 91) ක මුදලකට මිලදී ගැනීමට චෙන්නායි කණ්ඩායම ක්‍රියා කලේය. ඔහු එහිද ඉනිම් 2 කට ක්‍රීඩා කරමින් කඩුළු 2 ක් දවා ගත්තේය. වේගපන්දු යවන්නෙකු වූ මතීෂගේ ඉරියව්ව මාලිංගට සමාන වීමද ඔහු ගැන වැඩි අවධානයක් ලැබීමට මූලිකත්වය ගත්තේය.

මේ අතර ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරව කණ්ඩායමෙන් නිදහස් කිරීමට ඔහු ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම තීරණය කර ඇත. වනිඳුගෙන් අනතුරුව එවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හිමිකරගත් වැඩිම මිල දුෂ්මන්ත හිමිකර ගත්තේය. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මිලට මූලිකව ලංසු තැබූ චමීර අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 2 (රු. කෝටි 9) ක මිලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම ක්‍රියා කලේය. කෙසේ වෙතත් ඔහුට ප්‍රමාණවත් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඉනිම් 12 කදී ඔහු දවා ගත්තේ කඩුළු 9 ක් පමණි. එමෙනම පන්දුවාරයකට ඔහු ලබාදුන් ලකුනු සාමාන්‍යය  දැක්වුනේ 8.73 ක් ලෙසිණි.

මේ අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කෙරුනු චාමික කරුණාරත්න 2020 තරගාවලියේ කිසිදු තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 (රු. කෝටි 2.25) ක මුදලකටයි.