හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට

0
Gotabaya Rajapaksa - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයංග වීරතුංග පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි උදයංග වීරතුංග ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේබව කියාසිටියේ.

ඔහු රටට යළිත් පැමිණ ජනතාවට සේවයක් කරනු ඇතැයි ද හිටපු තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනයේ නිරත නොවන බවයි උදයංග වීරතුංග අවධාරණය කළේ.

ගෝඨාභය රාජපක්ෂ දේශපලානඥයෙකු ලෙස දක්ෂයෙක් නොවන අතර නිලධාරියෙක් ලෙස දක්ෂ පුද්ගලයෙකු බව ද උදයංග වීරතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට තායිලන්තයේ රැඳී සිටිනවා.

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා පසුගිය 11 වනදා තායිලන්තය බලා පිටත්ව ගියා.

ගෝඨාභය රාජපක්ෂට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

මෙරට ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට යන තෙක් රැදී සිටියේ සිංගප්පූරුවේයි.