ආණ්ඩුකාරවරුන් පත් කිරීමට එජාප පොහොට්ටු සීතල යුද්ධයක්

0
Governors - ආණ්ඩුකාරවරුන් පත් කිරීමට එජාප පොහොට්ටු සීතල යුද්ධයක්

දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමද ලොකු අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුකාර ධූරයන් සඳහා වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්වය ඇතිවී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් නොවීමසා කටයුතු නොකරන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඇතුළු පළාතේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රජයට දැනටමත් දැනුම්දී ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8කි.

හිටපු අමාත්‍ය දයා ගමගේ, ජෝන් අමරතුංග නවීන් දිසානායක සහ වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමෙල් සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ( එක්සත් ජාතික පක්ෂයේ) ආණ්ඩුකාර ධූර සඳහා යෝජනාවී සිටිති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් පත් කෙරුණු ආණ්ඩුකාර වරුන් තිදෙනකුට එම ආණ්ඩුකාර ධුරයන් හි ඉදිරියටද කටයුතු කිරීමට අවස්ථාව සලසන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුකාර ධුරයන් හි තවදුරටත් කටයුතු කිරීමට මෙලෙස අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා ඇති පුද්ගලයන් වන්නේ ලලිත් යූ ගමගේ, විලී ගමගේ සහ එම්. ජේ මූසම්මිල් යන මහත්වරුන්ය.