ගිනි තැබූ ප්‍රසන්න රණතුංගගේ කාර්යාලය හදන්න ජනතා ශ‍්‍රමදානයක්

0
Prasanna Ranathunga's Office - ගිනි තැබූ ප්‍රසන්න රණතුංගගේ කාර්යාලය හදන්න ජනතා ශ‍්‍රමදානයක්

කුමන්ත්‍රණකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වැනිදා ගිණි තබා විනාශකරන ලද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ගම්පහ, උඩුගම්පොළ පිහිටි දේශපාලන කාර්යාලය නැවත පිළිසකර කිරීම ප්‍රදේශවාසීන්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරිණි.

මෙම දේශපාලන කාර්යාලය ගිණි තබා විනාශ කිරීම නිසාවෙන් පසුගිය මාස තුන පුරාවටම අමාත්‍යවරයාට ප්‍රදේශයේ ජනතාව හමුවීමට හෝ ඔහුගේ දේශපාලන කටයුතු කරගෙනයෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණි.

ඒ හේතුවෙන් අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ දේශපාලන ආධාරකරුවන්ද පත්ව තිබුණේ මහත් අපහසුතාවයකටය.

මෙම අවස්ථාවට සහභාගීවී සිටි මහජනතාව සඳහන් කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මෙම දේශපාලන කාර්යාලය හුදෙක්ම දේශපාලන කටයුතු සඳහාම භාවිතවූවක් නොවන බවයි.

මෙම කාර්යාලය මගින් සතියේ දින පහේම ඉංග්‍රීසි හා ශිෂ්‍යත්ව පංති, ස්වයං රැකියා වැඩමුළු,සෞඛ්‍ය සායන, උපදේශන සේවා ඇතුළු විවිධ ප්‍රජාසේවාවන් රාශියක් නොමිලයේ ක්‍රියාත්මක කිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට මහඟු සේවයක් සැළසුණු බවද ඔව්හු සඳහන් කළහ.

එහෙත් මැයි මස 9 වැනිදා අමාත්‍යවරයාගේ නිවස හා දේශපාලන කාර්යාලය ගිණි තබා විනාශ කිරීම හේතුවෙන් එම සියලුම ප්‍රජාසේවාවන් නතරව තිබීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවයි ජනතාව පැවසුහ.

එබැවින් පක්ෂ දේශපාලනය පසෙක දමා මෙම දේශපාලන කාර්යාලය පිළිසකර කිරීමට තමන් පෙරමුණ ගත් බව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ජනතාව සඳහන් කළහ.