දෙසැම්බර් උද්ධමනය 12% ඉක්මවා යයි

0
Central Bank Statement of December Inflation - දෙසැම්බර් උද්ධමනය 12% ඉක්මවා යයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම සියයට 12.1 ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 2.64 ක් ලෙස ද, ආහාර සහ ආහාර නොවන අයිතමවල වෙනස පිළිවෙළින් සියයට 1.80 ක් සහ 0.84 ක් බව ද, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට දෙසැම්බර් මස ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ඉහළ යෑම බලපා ඇති බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මස සියයට 22.1 ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 7.5 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.

දෙසැම්බර් මස තුළ ආහාර නොවන කාණ්ඩයට අයත් පෙටේ‍රල්, ඩීසල්, කුලී රථ ගාස්තු, මත්පැන් සහ දුම්වැටි යන භාණ්ඩවල මිල ඉහළ යෑම උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපෑම් කර තිබේ.

උද්ධමනය අණ්ඩව ඉහළ යෑමට සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිළි කිරීමක් හැකි ඉක්මණින් ඉදරිපත් කරන බවත් ශ්‍රී ලංකා වහ බැංකුව කියයි.