රටේ ආර්ථික ගැටළු විසඳගන්න හිටපු අගමැතිගෙන් රජයට උපදෙසක්

0
Former Prime Minister Instructs the Government - රටේ ආර්ථික ගැටළු විසඳගන්න හිටපු අගමැතිගෙන් රජයට උපදෙසක්
රටේ ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බවත් එළඹෙන සිංහල අලුත් අවුරුදු සමය වන විට මෙරට සහල් හිඟයක් ඇතිවන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත් රැකියා නැතිවෙමින් පවතින බවත් මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බැවින් මේවාට විසඳුම් අවශ්‍ය බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

“ඩොලර් හිගය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ බර ජනතාවට උහුලන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. විශේයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා. රැකියා නැති වෙනවා. මැද පන්තිය පිරිහෙනවා. ගොවීන් අතරමං වෙලා තියෙන්නේ. මේවාට වහාම විසදුම් උවමනායි.

කොවිඩ් 19 වසංගතය තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්නලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසදන්න ඔනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබාගන්න. නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදුවෙලා නැහැ.

අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒක තමා මේ රටේ ඇති වෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා.

බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙහෙම තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්.

දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ.

නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.” රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.